නිපුනි ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනයි!

Asian Beach Games 2026

6
Asian Beach Games 2026

06 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ 08 වැනි දිනය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

අද (29) දිනය ආරම්භයේ දී ම ශ්‍රී ලංකා මල්ලව පොර ක්‍රීඩිකා නිපුනි වාසනා විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා දීමට සමත් වීම සුවිශේෂී සිදුවීමක්. එමෙන්ම මෙය ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලක ලැබූ පළමු රන් පදක්කම ලෙස ද වාර්තා අතරට එක් වනු ඇති.

ඊයේ (28) දිනය තුළ නිපුනි විසින් මෙම පදක්කම සඳහා මාවත සකසා ගත් අතර, ඇයට අමතරව තවත් කිහිප දෙනෙකු ම ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග බිමට පිවිසුණා.

නෙත්මි අහිංසා කාන්තා 60kg බර පන්තිය යටතේ තරග බිමට අවතීර්ණ වූ අතර, ඇයට ඉන්දීය ක්‍රීඩිකාවක් හමුවේ පරාජය වෙමින් තරගයෙන් ඉවත් වීමට සිදු වුනා.

මේ අතර 90kg බර පන්තිය යටතේ තරග බිමට අවතීර්ණ වූ මදුශංක ප්‍රේමරත්න විසින් ඉරාන ක්‍රීඩකයකු හමුවේ පරාජය වෙමින් තරග බිමෙ ඉවත් වූ අතර, 80kg බර පන්තිය යටතේ තරග බිමට අවතීර්ණ වූ ලක්මාල් විජේසූරිය විසින් ඉන්දීය ක්‍රීඩක Sachin Mor හමුවේ 4-0ක් ලෙස ද, කටාර් ක්‍රීඩක Al Hammadi හමුවේ 4-0ක් ලෙස ද, බහරේන් ක්‍රීඩක Asluev Magomedrasul හමුවේ 2-0ක් ලෙස ද පරාජය වෙමින් තරගයෙන් ඉවත් වුනා.

මේ අතර 3×3 කාන්තා පැසිපන්දු ඉසව්ව නියෝජනය කරමින් කසකස්තානය සමඟ තරග බිමට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට 21-09ක පරාජයක් අත් විඳීමට සිදු වුනා.

මේ අතර තුරේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකා නිපුනි වාසනා තමන්ට හිමි වන සෑම තරගයක් ම ජය ගනිමින් ඉදිරියට පැමිණීමට ද සමත් වුනා.

නිපුනි පළමුව කසකස්තානයේ Ganikysy Laura 4-0ක් ලෙස පරාජය කිරීමට සමත් වූ අතර, ඉන් පසුව කම්බෝජියාවේ Dit samnang 2-0ක් ලෙස පරාජය කිරීමට සමත් වුනා. ඇය මූලික වටයේ දී සහභාගී වූ තෙවැනි තරගයෙන් චීන ක්‍රීඩිකා Liang Jinyueට එරෙහිව 2-0ක ජයක් වාර්තා කිරීමට සමත් වුනා.

ඉන් පසුව නිපුනි හට සිය ඉසව්වේ අවසන් පූර්ව තරගයට සහභාගී වීමට සිදු වූ අතර, එහි දී ඇය ජපාන ක්‍රීඩිකා Yano Funaට එරෙහිව 4-0ක විශිෂ්ට ජයක් ලබමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

එම ඉසව්වේ අවසන් තරගය අද උදෑසන වියට්නාමයේ Doan Thi Kim Oanhට එරෙහිව පැවැත්වුණු අතර, මෙහි දී නිපුනි විසින් 2-1ක් ලෙස එම තරගය ද ජය ගැනීමට සමත් වුනා.

ඒ අනුව මෙතෙක් ඉතිහාසයේ ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව ලද පළමු රන් පදක්කම හිමි කර ගැනීමට නිපුනි වාසනා විසින් සමත් වුනා.

එමෙන්ම එය මෙවර තරගාවලියේ ශ්‍රී ලාංකිකයකු විසින් සහභාගී වූ අවසන් තරග ඉසව්ව ද වීම තවත් විශේෂත්වයක්.

මෙම රන් පදක්කමත් සමඟින් ශ්‍රී ලංකාව විසින් මෙවර ක්‍රීඩා උළෙලේ සමස්ත පදක්කම් 07ක් ජය ගැනීමට සමත් වී තිබෙනවා.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් සටහනේ 08 වැනි ස්ථානය දක්වා පැමිණීමට ද සමත් වී තිබීම විශේෂත්වයක්. චීනය සුපුරුදු පරිදි පදක්කම් සටහනේ පෙරමුණේ පසු වන අතර, දකුණු ආසියානු ප්‍රබලයා වන ඉන්දියාව ශ්‍රී ලංකාවට පසු පසින් 09 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

ක්‍රීඩා උළෙලේ අවසන් දිනය හෙට (30) ක්‍රියාත්මක වීමට නියමිතයි.

2026 ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

Cover Image Credit – National Olympic Committee Of Sri Lanka Official Facebook Page

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<