ශ්‍රී ලංකාව නැවත වතාවක් තෙවන ස්ථානයේ නවතී

519

2018 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර අද (15) අවසන් වූ අතර ශ්‍රී ලංකා සත් සාමාජික පිරිමි රග්බි කණ්ඩායමට එහි දී හිමි වූයේ තෙවන ස්ථානයයි. පළමු අදියර දින දෙකක් පුරා හොංකොං හිදී පැවැත්විය. තරගාවලිය අදියර තුනකින් සමන්විත අතර එහි අවසන් අදියර ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙනු ඇත.

ජපන් ප්‍රහාරය ශ්‍රී ලංකා බලාපොරොත්තු සුනුවිසුනු කරයි

හොංකොං හී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවලියේ පළමු අදියරේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය අද (14) ජපානය සමඟින් පැවති අතර එහි දී ලකුණු 21-00ක දරුණු පරාජයකට…

අද උදෑසන පළමු වටයේ සිය අවසන් තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ චීන තායිපේ කණ්ඩායම ලකුණු 33-12ක් ලෙස පරාජය කරමින් කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට සමත් විය. අනතුරුව ශ්‍රී ලංකාව හා හොංකොං අතර කුසලාන අවසන් පූර්ව තරගය පැවති අතර නොසිතූ ලෙස හොංකොං හමුවේ පරාජය වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

ශ්‍රී ලංකාව හා හොංකොං අතර – කුසලාන අවසන් පූර්ව තරගය

අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව තරග වැදුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට කවදත් හිසරදයක් වූ ප්‍රබල හොංකොං කණ්ඩායමයි.

ජේමි හුඩ් වේගවත් ධාවනයක යෙදෙමින් පළමු හොංකොං උත්සාහක දිනුම රැස් කළේ හයවැනි මිනිත්තුවේ දීයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ආරක්ෂාකාරී ක්‍රීඩා විලාසය බිඳ දමමින් ශින්ග් යූ පළමු අර්ධය අවසානයට මොහොතකට පෙර දෙවන හොංකොං උත්සාහක දිනුමත් වාර්තා කළේ පළමු අර්ධය අවසානයේ ශ්‍රී ලංකාව ප්‍රබල පීඩනයකට ඇද දමමිනි.  

පළමු අර්ධය: හොංකොං 14 – 00 ශ්‍රී ලංකාව

දෙවන අර්ධයේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හොංකොං ක්‍රීඩකයින්ගෙන් ලකුණක් සොරා ගැනීමට අසමත් වූ අතර රීසා රෆයිඩීන් හෝ තරගාවලිය පුරා ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කළ බුද්ධිම පියරත්න හොංකොං ආරක්ෂක වළල්ල පසු කර යෑමට සමත් වූයේ නැත.

සුදම් සූරියආරච්චි මැඩලමින් ටෝබි ෆෙන් දෙවන අර්ධයේ හොංකොං ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ අතර මැක්ස් ඩෙන්මාර්ක් ‘scrum’ අවස්ථාවකින් පන්දුව රැගෙන සිව්වැනි හොංකොං උත්සාහක දිනුමත් වාර්තා කළේ ශ්‍රී ලංකාවේ ශූරතා බලාපොරොත්තු සුනුවිසුනු කරමිනි.

අධික පීඩනයකට මෙන්ම බලාපොරොත්තු කඩ වීමකට ලක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතින් පන්දුව හැසිරවීමේ දී අතපසු වීම් කිහිපයක් සිදු වූයේ උත්සාහක දිනුමක් කරා යාමට තිබූ අවස්ථා කිහිපයක් අවහිර කරමිනි.

බෙන්ජමින් රිමේනේ අවසන් හා පස්වැනි හොංකොං උත්සාහක දිනුමක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ කුසලාන බලාපොරොත්තු සුන් කරමින් අවසන් මහා තරගය දක්වා හොංකොං කණ්ඩායම රැගෙන යන්නට සමත් විය.

අවසන් ලකුණු තත්වය: හොංකොං 31 (5T, 3C) – 00 ශ්‍රී ලංකාව

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • හොංකොං –  බෙන්ජමින් රිමේනේ (1T, 3C), මැක්ස් ඩෙන්මාර්ක් (1T), ශින්ග් යු (1T), ටෝබි ෆෙන් (1T), ජේමි හුඩ් (1T)

ආසියාව දිනන්නට සැරසෙන රග්බි ඇතුන් අද තරග බිමට

2018 ආසියානු සත් සාමාජික රග්බි ශුරතාවලියේ පළමු අදියර අද (14) දින හොං කොං හීදී ආරම්භ වීමට නියමිතය. එහි ප්‍රථම තරගය ලෙස ශ්‍රී ලංකාව හා චීනය උරෙන් උර ගැටීමට නියමිත අතර…

ශ්‍රී ලංකාව හා පිලිපීනය අතර – තුන්වැනි ස්ථානය සඳහා තරගය

අවසන් පූර්ව තරගයේ ලත් පරාජයෙන් පාඩම් ඉගෙන ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සුපිරි ක්‍රීඩා විලාශයක් දක්වමින් පිලිපීනය ලකුණු 40-12ක් ලෙස පරාජය කර පළමු අදියරේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

දැඩි අධිෂ්ඨානයෙන් සටන් කළ ශ්‍රී ලංකාව වෙනුවෙන් කාලය අපතේ නොයවා නවීන් හේනකන්කානම්ගේ පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර ලකුණු දෙගුණ කරමින් සුදම් සූරියආරච්චි ද උත්සාහක දිනුමක් වාර්තා කළේ ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණට රැගෙන එමිනි.

ඩොනල්ඩ් කොල්මන් පිලිපීනය වෙනුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළත් දනුෂ් දයාන්ගේ පන්දු යොමු කිරීමක් මනා ලෙස ග්‍රහණය කර තෙවන ශ්‍රී ලංකා උත්සාහක දිනුම වාර්තා කිරීමට දිනුක් අමරසිංහ සමත් විය.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 21 – 07 පිලිපීනය

පිලිපීනය පන්දුව තමන් වෙතම තබාගෙන ක්‍රීඩා කරමින් දෙවන අර්ධයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළේ ජෝ ඩෝසන්ගේ සුරතිනි. අමතර ලකුණු එකතු කිරීමට ඩෝසන් සමත් වූයේ නැත.

කෙසේ වෙතත් පිලිපීන හඹා ඒමට උත්සාහක දිනුමකින් පිළිතුරු දුන් දනුෂ් දයාන් තවත් උත්සාහක දිනුමක් තමන්ගේ නම යටතේ සටහන් කළේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය පෙනෙන මානයට රැගෙන එමිනි.

තරගාවලිය පුරා සුපිරි ලෙස ක්‍රීඩා කළ බුද්ධිම පියරත්න තවත් උත්සාහක දිනුමක් වාර්තා කරද්දී, ශ්‍රීනාත් සූරියබණ්ඩාර හොංකොං ආරක්ෂක වළල්ල අතරින් රිංගා ගියේ තරගයේ ජය තහවුරු කරමිනි.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 40 (6T,5C) -12 (2T,1C) පිලිපීනය

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • ශ්‍රී ලංකාව – නවීන් හේනකන්කානම්ගේ (1T), සුදම් සූරියආරච්චි (1T, 3C), දිනුක් අමරසිංහ (1T), දනුෂ් දයාන් (1T), බුද්ධිම පියරත්න (1T), ශ්‍රීනාත් සූරියබණ්ඩාර (1T,2C)
  • පිලිපීනය – ඩොනල්ඩ් කොල්මන් (1T), ජෝ ඩෝසන් (1T, 1C)

ආසියාව දිනන්නට කාන්තා රග්බිත් සූදානම්

එළඹෙන සැප්තැම්බර් 14 වැනිදා හොංකොං හිදී ආරම්භ වීමට නියමිත ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය වෙනුවෙන් සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රග්බිකණ්ඩායම.

චීන තායිපේ පරදමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට පිවිසෙයි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන දිනය වූ අද (15) ශ්‍රී ලංකා සත්  සාමාජික රග්බි කණ්ඩායම පළමු වටයේ සිය තෙවන තරගය සඳහා සහභාගී වූ අතර චීන තායිපේ කණ්ඩායම ලකුණු 33-12ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් විය.

ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉතා පහසුවෙන් චීනය පරාජය කළ නමුත් ප්‍රබල ජපන් කණ්ඩායම හමුවේ එකදු ලකුණක් හෝ රැස්කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණේ නැත.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම පළමු අර්ධයේ දී විවේක ගන්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසුණු අතර යොවුන් ක්‍රීඩකයින් අපේක්ෂා කළ ලෙසම පළමු අර්ධයේ ඉතා හොඳින් ක්‍රීඩා කළේ පළමු අර්ධයේ දී තායිපේ ක්‍රීඩකයින් හට එකදු ලකුණක් හෝ නොදෙමිනි.

‘Scrum’ අවස්ථාවකින් පන්දුව ලබා ගත් සුදම් සූරියආරච්චි, බුද්ධිම පියරත්න හට පන්දුව භාර කළ අතර සුපිරි ධාවනයක නිරත වූ බුද්ධිම පළමු ශ්‍රී ලංකා උත්සාහක දිනුම වාර්තා කළේ තරගයේ 2 වන මිනිත්තුවේ දී ය. කෙවින් ඩික්සන් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (තායිපේ 00-07 ශ්‍රී ලංකා)

සිව්වැනි මිනිත්තුවේ දී නැවත වතාවක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ක්‍රියාත්මක වූ අතර මෙවර චීන තායිපේ ක්‍රීඩකයින් මැඩලමින් දෙවන ශ්‍රී ලංකා උත්සාහක දිනුම වාර්තා කළේ නවක ක්‍රීඩක දිනුක් අමරසිංහ ය. සුදම් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (තායිපේ 00-14 ශ්‍රී ලංකා)

තායිපේ ක්‍රීඩකයින්ට කිසිදු විවේකයක් නොදුන් දිනුක් අමරසිංහ නැවත වතාවක් ‘lineout’ අවස්ථාවකින් පන්දුව ලබාගෙන විශිෂ්ට ධාවනයක නිරත වූ අතර තායිපේ ක්‍රීඩකයින් අන්ද මන්ද කරමින් ඔහු තරගාවලියේ සිය තෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. කෙවින් එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදි. (තායිපේ 00-21 ශ්‍රී ලංකා)

පළමු අර්ධය: චීන තායිපේ 00 – 21 ශ්‍රී ලංකාව

දෙවන අර්ධය ආරම්භයේ දී තායිපේ ක්‍රීඩකයින් ඉතා ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හැටි සංවිධානය වීමටත් ප්‍රථම පිට පිට උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමට ඔවුන් සමත් විය.

7 වන මිනිත්තුවේ දී SUNG CHE YU පළමු තායිපේ උත්සාහක දිනුම වාර්තා කළ අතර 9 වන මිනිත්තුවේ දී LAI KUANG දෙවන තායිපේ උත්සාහක දිනුමත් වාර්තා කිරීමට සමත් විය. පළමු උත්සාහක දිනුමේ ප්‍රවර්තනය අසාර්ථක වුවත් දෙවැන්නේ ප්‍රවර්තනය සාර්ථක විය. (තායිපේ 12-21 ශ්‍රී ලංකා)

එක් වරම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එල්ල වූ පීඩනයෙන් මිදීමට ඔවුන්ට යම් වේලාවක් ගත වූ අතර අවසාන මිනිත්තු කිහිපයේ තරගයේ වගකීම ගනිමින් නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර හා ගයාන් වීරරත්න ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු කණ්ඩායමට ආදේශ විය.

එහි ප්‍රතිඵලයක් ලෙස 13 වන මිනිත්තුවේ දී දනුෂ් දයාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කළේ එල්ල වී තිබූ පීඩනයෙන් ශ්‍රී ලංකාව ගලවා ගනිමිනි. කෙවින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (තායිපේ 12-28 ශ්‍රී ලංකා)

තරගය අවසන් වීමට මොහොතක් තිබිය දී ශ්‍රීනාත් සූරියබණ්ඩාර සුපිරි ධාවනයක නිරත වී පන්දුව නවීන් හේනකන්කානම්ගේ හට භාර කළ අතර නවීන් ඉතා පහසුවෙන් ධවල රේඛාව ඉක්මවා ගියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට රැගෙන යමිනි.

අවසන් ලකුණු තත්වය: චීන තායිපේ 12 – 33 (5T,4C) ශ්‍රී ලංකාව

ලකුණු ලබා ගත් ක්‍රීඩකයෝ

  • ශ්‍රී ලංකාව – දිනුක් අමරසිංහ (2T), දනුෂ් දයාන් (1T), නවීන් හේනකන්කානම්ගේ (1T), බුද්ධිම පියරත්න (1T), කෙවින් ඩික්සන් (3C), සුදම් සුරියආරච්චි (1C)         
  • චීන තායිපේ  – SUNG CHE YU (1T), LAI KUANG (1T)          

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<