ගෙවුණු වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ වටිනාම ක්‍රීඩකයෙකු ලෙස අවිවාදයෙන්ම සඳහන් කළ හැකි තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නගේ සුපිරි පිතිකරණ දක්ෂතා නිසා සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති එකම ටෙස්ට් තරගය වාර්තාගත අන්දමින් ජය ගැනීමට අද (18) ශ්‍රී ලංකා පිළට අවස්ථාව උදා විය. ඒ සිව්වැනි ඉනිමේ දී ලකුණු 388ක අති දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් සාර්ථක ලෙස හඹායමිනි.

ශ්‍රී ලංකා පිළේ ගෞරවය මැදපෙළ පිතිකරුවන් අතට!

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟයේ සිව්වැනි දිනය වූ අද (17) දිනය ගෙවී …

කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර් පිතිකරණ පාරාදීසයක් ලෙසින් දිස්වුනු තණතිල්ලේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය. එහි දී ක්‍රේග් අර්වයින්ගේ විශිෂ්ට ශතකයෙන් ශක්තිමත්  වූ ඔවුන් ලකුණු 356ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් විය. පන්දු යැවීමේ දී රංගන හේරත් කඩුලු 5ක් දවා ගත්තේ ලකුණු 116ක් ලබා දෙමිනි. සිම්බාබ්වේ ඉනිමට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා පිළ ලකුණු 346ක් ලබාගත් අතර ඒ අනුව ප්‍රථම ඉනිමේ ලකුණු 10ක වාසියක් ඔවුන්ට හිමි විය.

මොහොතින් මොහොත තව තවත් පිතිකරුවන්ගේ හිත සුව පිණිසම වෙනස් වූ තණතිල්ලේ තම දෙවැනි ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ පිතිකරුවන් එහි දී ලකුණු 377ක් රැස් කිරීමට සමත් වූහ. ඒ ප්‍රබල ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 388ක අසීරු ඉලක්කයක් හිමි කර දෙමිනි. එහි දී සිම්බාබ්වේ ඉනිමේ නැංගුරම බවට පත්වූ සිකන්ඩර් රාසා ලකුණු 127ක් වාර්තා කළේය. ඒ හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් සමඟිනි. දෙවැනි ඉනිමේ දී ද ශ්‍රී ලංකා පිළ ගලවා ගත් සුපිරිතමයා බවට පත්වුණු රංගන හේරත් ලකුණු 133ට කඩුලු 6ක් දවා ගත්තේය.

ඒ අනුව සිව්වැනි දිනයේ අපරභාගයේ තම දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 3ක් දැවී ලකුණු 170ක් රැස්කර ගන්නට සමත් වූහ. ඒ අනුව අද පස්වැනි දිනයට තරගය ආරම්භ වූයේ දෙපිළේම ක්‍රීඩකයින්ට ටෙස්ට් ජයක් වෙනුවෙන් එක හා සමාන අවස්ථාවක් උදාකර දෙමිනි. කෙසේ වෙතත් ඊයේ දිනයේ දී ඉතාමත් හොඳින් පිතිකරණයේ යෙදුණු කුසල් මෙන්ඩිස් අද උදෑසනින්ම ලකුණු 68කට දැවී යාම නිසා දිනයේ මුල්ම වාසිය සිම්බාබ්වේ ක්‍රීඩකයින් සතුවිය.

මෙවන් තත්ත්වයක් යටතේ ඉහළ පීඩනයකට ගොදුරු වුනු ඇන්ජෙලෝ මැතිව්ස්ගේ පිතිකරණ රටාව තව තවත් මන්දගාමී වූ අතර ඔහු අද පන්දු 73කට මුහුණ දෙමින් රැස්කර ගත්තේ ලකුණු 25ක් පමණි. ඔහු දැවී ගියේ සිම්බාබ්වේ නායකයාට ඉනිමේ සිව්වැනි කඩුල්ල හිමි කර දෙමිනි. තරගය සම්පූර්ණයෙන්ම කණපිට හරවන සුපිරි සබඳතාවය ඉන් අනතුරුව ගොඩ නැගුණු අතර මැදපෙළ පිතිකරු අසේල ගුණරත්න සහ නිරෝෂන් දික්වැල්ල එහි කොටස්කරුවන් බවට පත්විය.

ස්ටම්ප් කිරීමේ ආසන්න අවස්ථාවකින් වාසනාවන්ත ලෙස දිවි ගලවා ගත් නිරෝෂන් දික්වැල්ල අද රැස්කළ ලකුණු සංඛ්‍යාව 81කි. ඒ මනරම් හතරේ පහර 6ක් සමඟිනි. ඔහු හා අසේල ගුණරත්න අතරේ ගොඩ නැගුණු ලකුණු 121ක සබඳතාවය සිම්බාබ්වේ ජයග්‍රහණ බලාපොරොත්තු බිඳ දැමූ හැරවුම් ලක්ෂ්‍ය බවට පත්විය. කෙසේ වෙතත් ශෝන් විලියම්ස්ගේ පන්දුවක් හමුවේ දික්වැල්ල දැවී යාමෙන් අනතුරුව තවත් ලකුණු 64ක පමණ හිඟතාවයක් ශ්‍රී ලංකා පිළට ඇතිවිය.

පසුපෙළ පිතිකරු දිල්රුවන් පෙරේරා සමඟ එක්වී එම අවශ්‍යතාවය සපුරාගත් අසේල ගුණරත්න අද තවත් අමරණීය ටෙස්ට් මතකයක් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට තිලිණ කර දුන්නේය. මේ දක්වා ජාත්‍යන්තර තරග සුළු ප්‍රමාණයකට පමණක් මුහුණ දී ඇති මෙම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයා අද නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 80කි. සංචාරය පුරාවට ඉහළ දක්ෂතා අතර සිටි සිම්බාබ්වේ දඟ පන්දු යවන්නන් මට්ටු කිරීමේ පහසු මාර්ගයක් සොයාගත් ඔහු පා ඉන්නෙන් පිටත පතිත වන පන්දු රැසක් වුවමනාවෙන්ම තම පාදයේ වද්දා ගනිමින් තම කඩුල්ල බේරා ගත්තේය.

අසේලට අනගි සහයක් ලබා දුන් දිල්රුවන් පෙරේරා සංයමයකින් යුතුව පන්දුවට පහර දෙමින් පන්දු 76කින් නොදැවී ලකුණු 29ක් රැස් කළේය. ඒ හතරේ පහර 4ක් සමඟිනි. ඒ අනුව තේ විවේකයට මොහොතකට පෙර ශ්‍රී ලංකා පිළ ආසියානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම හඹා යාම සටහන් කර ගත්හ. ඒ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 391ක් රැස්කර ගනිමිනි. එය ලෝකයේ පස්වැනි සාර්ථකම හඹා යාම ලෙස ද, ශ්‍රී ලංකා කණ්ඩායම හඹාගොස් ජය ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ද සැලකිය හැකිය.

ඒ අනුව දිනේෂ් චන්දිමාල් ටෙස්ට් නායකයා බවට පත්වීමෙන් අනතුරුව සහභාගි වූ පළමු තරගයෙන්ම ඓතිහාසික ජයක් ලක් මවට හිමි විය. පළමු ඉනිමේ දී ප්‍රතිවාදී කඩුලු 2ක් දවා ගනිමින් මුළු ලකුණු 125ක් රැස් කර ගත් අසේල ගුණරත්න අද තරගයේ වීරයා බවට පත්වූ අතර තරගාවලියේ වීරයා ලෙස වමත් පිට දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සම්මාන දිනා ගත්තේය. සැබවින්ම හේරත් (කඩුලු 11) සහ ක්‍රීමර් (කඩුලු 9) යන දෙපිළේ ප්‍රධානතම දඟ පන්දු යවන්නන් දෙදෙනා අතරේ දෙපසට දෝලනය වූ මෙම තරගයේ දී බිඳ වැටුණු කඩුලු 36න් 30ක්ම දවා ගත්තේ දඟ පන්දු යවන්නන් විසිනි.

ශ්‍රී ලංකා පිළ ලබාගත් මෙම සුපිරි ටෙස්ට් ජයග්‍රහණයත් සමඟින් සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවසන් වූ අතර එක්දින තරගාවලියේ වැඩි ගෞරවය සිම්බාබ්වේ කණ්ඩායමටත්, ටෙස්ට් තරගයේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාවටත් හිමි විය. ඒ අනුව මීළඟට ශ්‍රී ලංකාවට මුණ ගැසෙන දැවැන්ත අභියෝගය වන්නේ මේ මස අග දී ආරම්භ වන ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයයි. එහි පළමු ටෙස්ට් අත්දැකීම ලබන 26 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව ඇත.

සිම්බාබ්වේ – සියල්ලන්ම දැවී ලකුණු 356 (පන්දුවාර 94.4): ක්‍රේග් අර්වයින් 160, සිකන්ඩර් රාසා 36, මැල්කම් වොලර් 36, ඩොනල්ඩ් තිරිපානෝ 27, ශෝන් විලියම්ස් 22, හැමිල්ටන් මැසකඩ්සා 19, පීටර් මුවර් 19, රංගන හේරත් 5/116, අසේල ගුණරත්න 2/28.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 346 (පන්දුවාර 102.3): උපුල් තරංග 71, දිනේෂ් චන්දිමාල් 55, අසේල ගුණරත්න 45, ඇන්ජෙලෝ මැතිව්ස් 41, දිල්රුවන් පෙරේරා 33, දිමුත් කරුණාරත්න 25, ග්‍රැහැම් ක්‍රීමර් 5/125, ශෝන් විලියම්ස් 2/62.

සිම්බාබ්වේ (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 377 (පන්දුවාර 107.1): සිකන්ඩර් රාසා 127, මැල්කම් වොලර් 68, පීටර් මුවර් 40, ග්‍රැහැම් ක්‍රීමර් 48, ශෝන්  විලියම්ස් 22, රංගන හේරත් 6/133, දිල්රුවන් පෙරේරා 3/95.

ශ්‍රී ලංකාව (දෙවැනි ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 391 (පන්දුවාර 114.5): නිරෝෂන් දික්වැල්ල 81, අසේල ගුණරත්න 80*, කුසල් මෙන්ඩිස් 66, දිමුත් කරුණාරත්න 49, දිල්රුවන් පෙරේරා 29*, උපුල් තරංග 27, ග්‍රැහැම් ක්‍රීමර් 4/150, ශෝන් විලියම්ස් 2/146.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට