ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් ගැටුමට කොළ එළියක්

186

කොරෝනා අවදානම නිසාවෙන් අවිනිශ්චිතතාවයට පත්ව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය පෙර සැලසුම් කළ පරිදිම පැවැත්වීමට දෙරටෙහි ක්‍රිකට් බලධාරින් අතර සිදු වූ සාකච්ඡා වලින් අනතුරුව තීරණය කළ බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර ඇත. 

ඒ අනුව ටෙස්ට් තරග දෙකකින් යුත් මෙම තරගාවලිය පෙර සැලසුම් කළ පරිදි මෙම මස 26 වනදා ආරම්භ කිරීමට නියමිතව ඇති අතර එම තරග ද්විත්වය Centurion සහ Johannesburg ක්‍රීඩාංගණයන් හිදි පැවැත්වෙනු ඇත. 

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධානය කරන ලෝක ටෙස්ට් ශූරතාවය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ සංවිධාන කටයුතු ඉතාමත් හොඳින් සිදුවන අතර ටෙස්ට් තරගවල සමබර කණ්ඩායම් ද්විතයක් එකිනෙක ගැටෙන නිසාවෙන් තියුණු තරගාවලියක් අපේක්ෂා කළ හැකි වේ. 

මෙම තරග සංචාරයට සහභාගී වීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරින් සහ ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා අතර සිදුකළ සාකච්ඡා වලින් අනතුරුව තරග කාලසටහනේ පරිදි මෙම තරගාවලිය පැවැත්වීමට සඳහා එකඟතාව පළකර තිබුනි. 

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තරගාවලියේ දී අනුගමනය කරන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳව සිදුකළ තක්සේරුවකින් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා විසින් මෙම තරගාවලියට සහභාගී වන ලෙස උපදෙස් ලබා දී තිබුනි. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න

ඒ අනුව තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පෙර සැලසුම් කළ පරිදි තරග සංචාරය සඳහා පිටත්ව යනු ලබන අතර ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට පැමිණීමට පෙර එහි තත්වය නිරීක්ෂණයට සහ අවශ්‍ය විධිවිධානයන් ලබාදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සමඟින් වෛද්‍ය විශේෂඥයෙකු හැකි ඉක්මණින් දකුණු අප්‍රිකාව වෙත පිටත් වීමට නියමිතව ඇත. 

මෙම තරගාවලිය අවලංගු කිරීමකින් තොරව පැවැත්වීමට හැකි වීම පිළිබඳව සිය අදහස් දක්වමින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩ බලන ප්‍රධානී Kugandrie Govender ප්‍රකාශ කර සිටියේ ඈශ්ලි ද සිල්වාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරින් විසින් ලබාදුන් සහයෝගය අගය කරන බවයි. 

“අප සෑම විටම මෙන්ම මේ අවස්ථාවේ දීත් සතුටට පත්වෙනවා, ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරග සංචාරය සඳහා සත්කාරකත්වය සපයන්න පුළුවන් වුන එක ගැන. මෙම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවයට අදාළ එකක් නිසා ජයග්‍රාහකයන්ට ලැබෙන ප්‍රසාද ලකුණු වඩාත් තීරණාත්මකයි. ඒ වගේම අප විශ්වාස කරනවා ලොව පුරා සිටින ප්‍රේක්ෂකයන් තවත් තියුණු තරගාවලියක් නැරඹීමට සූදානම් වෙනවා ඇති කියලා.” යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. 

මාර්තු මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරගාවලිය කොරෝනා වසංගතය නිසාවෙන් කල් දැමීමට සිදුවීමෙන් පසු කිසිඳු ජාත්‍යන්තර තරගයකට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාවක් හිමි වූයේ නැත. 

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අවසන් වරට දකුණු අප්‍රිකාවේ දී පැවති ටෙස්ට් තරගාවලිය තරග 2-0 ලෙස විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ නිසාවෙන් මෙවර තරගාවලිය ඉතාමත් තියුණු මුහුණුවරක් ගනු ඇත. 

තරගාවලි කාලසටහන, 

තරගය  ආරම්භක දිනය  අවසන් දිනය  ක්‍රීඩාංගණය 
පළමු ටෙස්ට් තරගය  26/12/2020  30/12/2020  SuperSport Park, Centurion 
දෙවන ටෙස්ට් තරගය  03/01/2021  07/01/2021  Imperial Wanderers

Stadium, Johannesburg 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<