අපි තවත් තරග තුනකට යන බව විශ්වාසයි – ළහිරු තිරිමාන්න

107

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී තවත් තරග තුනක් ක්‍රීඩා කිරීමට තම කණ්ඩායමට අවස්ථාව ඇතැයි විශ්වාසයක් තිබෙන බැවින් ඉදිරි දින පහක හයක කාලය තුළදී විශේෂයෙන් පන්දු යවන්නන්ගේ පුහුණුවීම් කටයුතුවලදී ප්‍රවේශමෙන් එම පුහුණු කටයුතු කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා පිලේ උප නායක ළහිරු තිරිමාන්න පැවැසීය.

පෙරේදා හෝබාට්හිදී ස්කොට්ලන්තයට එරෙහිව තරගය ජයග්‍රහණයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ තිරිමාන්න තවදුරටත් කියා සිටියේ එම තරගයේදී යම් වේදනාකාරී තත්ත්වයකට මුහුණ පෑ නායක ඇන්ජිලෝ මැතිව්ස් මෙන්ම ඇඟිල්ලක් තුවාල වීම හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වී සිටි රංගන හේරත්ද 18දා පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කරනු ඇතැයි තමන්ට විශ්වාස බවය.

කෙසේ වෙතත් මෙම තරගාවලියේ පළමු වතාවට ස්කොට්ලන්තයට එරෙහිව තරගයේදී මැතිව්ස් පන්දු යැවීම සිදුනොකළ අතර ඔහුගේ වේගවත් පිතිහරඹයෙන් පසුව නැවත පන්දු රැකීමට පැමිණියද එහෙත් කලින්ම පිටියෙන් ඉවත් වීමෙන් අනතුරුව තරගය අවසානයේ පැවැති සම්මාන ප්‍රදානයට එන තෙක්ම ඔහු දැක ගන්නට නොලැබිණි. ඒ පිළිබඳවද ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ තිරිමාන්න කියා සිටියේ මැතිව්ස් ශාරීරික වශයෙන් යම් වේදනාකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බවත් ඒ පිළිබඳව ඔහු බදාදා (10දා) රාත්‍රියේ ස්කෑන් පරීක්‍ෂණයකට පෙනී නොසිටියද බ්‍රහස්පතින්දා (11දා) දිනයේ ස්කෑන් පරීක්‍ෂණයකට යෑමට සිදුවිය හැකි බවත්ය. කෙසේ වෙතත් තම නායකයා මීළඟ අර්ධ අවසන් පූර්ව තරගය වනවිට පූර්ණ සුවයකින් පසුවනු ඇතැයිද ශ්‍රී ලංකා උප නායකයා විශ්වාසය පළ කළේය.

තවද රංගන හේරත්ගේ ඇඟිල්ලට දමා තිබෙන මැහුම් බ්‍රහස්පතින්දා (11දා) ඉවත් කරන බව පැවැසූ තිරිමාන්න රංගන සිකුරාදා යළිත් සිය පුහුණුවීම් කටයුතුවල යෙදීමට නියමිත බවද කීය. එනිසා රංගන හේරත් වෙනුවට පැමිණි තරිඳු කෞෂාල්ගේ ආදේශය අවශ්‍ය නොවනු ඇතැයිද තිරිමාන්නගේ අදහස විය. ගෙවී ගිය මාස තුනක පමණ කාලයක් පුරා ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ තරගවල නිරතවෙමින් සිටින බැවින් විශේෂයෙන් පන්දු යවන්නන් කළමනාකරණය කර ගත යුතුව ඇතැයි පැවැසූ තිර්මාන්න “පන්දු රැකීම හා අවසන් පන්දුවාර දහය ඇතුළුව තරගයේ අවසන් අදියරේදී පන්දු යැවීමේ ආකාරය ගැන අපි මීට වඩා ප්‍රගතියක් ලබාගත යුතුයි. අපට අර්ධ අවසන් පූර්ව තරගයට යෑමට පෙර තවත් දින 7ක පමණ කාලයක් තිබීම හොඳ තත්ත්වයක් ලෙසත් මා දකිනවා. එම කාලය තුළ අපේ තවත් වැඩිදියුණු කරගත යුතු අංශ තිබෙන නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමුකරන්න අවශ්‍යයි” යනුවෙන්ද පැවැසීය.

මේ වන විට ලෝක ක්‍රිකට් වාර්තා රැසකට හිමිකම් කියන කුමාර් සංගක්කාරගේ පිතිහරඹය ගැන විමසූ විට ළහිරු තිරිමාන්න කියා සිටියේ ලබන බදාදා සිඩ්නි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයේදීද සංගක්කාර තම රිද්මය ඉදිරියටම ගෙන යනු ඇතැයි තමන් විශ්වාස කරන බවය. තවද කණ්ඩායමට නවකයකු ලෙස එක්වී සිටින වේග පන්දු යවන්නකු වන දුෂ්මන්ත චමීර පැයට කිලෝ මීටර් 140ක 145ක වේගයෙන් පන්දු යවමින් දස්කම් දැක්වීම කණ්ඩායමේ ඉදිරි ගමනට දායක වුවද අර්ධ අවසන් පූර්ව වටය වැනි තරග වටයකට යෑමේදී අත්දැකීම් බහුල වීමත් වැදගත් කරුණක් බවද පෙන්වා දුන්නේය.