උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩකයින්ට මාසිකව ලක්ෂයක දීමනාවක්

333

උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මාසිකව රුපියල් ලක්ෂයක දීමනාවකට ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ කොන්ත්‍රාත්ගතවීමේ ගිවිසුම් අත්සන් තැබීම පසුගිය දා (15) ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා මට්ටම ඉහළ නැංවමින් ජාත්‍යන්තර පදක්කම් ජයග්‍රහණය කරවීමේ ඉලක්කය පෙරදැරිව මෙම වැඩසටහන ක්‍රියාත්මකය.

තවත් ක්‍රිකට් පුවත්:

2022 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මෙහි ප්‍රමුඛ ඉලක්කයකි. ඒ වෙනුවෙන්  ජාතික ක්‍රීඩා සභාව  සහ   ඉහළ කාර්ය සාධන කමිටුව ඔස්සේ සංචිතගත කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් පදක්කම් ලබාගත හැකි ඉලක්කගත  ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සඳහා තෝරාගෙන තිබේ.

 මලල ක්‍රීඩා, බර ඉසිලීම, බොක්සිං, ජූඩෝ,බැඩ්මින්ටන්, පිහිනුම්, පැරා ආදී ක්‍රීඩා 07කට අදාළව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60 දෙනෙක් මෙලෙස ක්‍රීඩා අමාත්‍යංශය සමඟ ගිවිසුම්ගත වූහ.

ගිවිසුම ප්‍රකාරව ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු වෙනුවෙන් ජාතික ක්‍රීඩා අරමුදල මඟින් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මාසිකව රුපියල් ලක්ෂයක මුදලක් ගෙවනු ලැබේ. ඊට අමතරව මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ඉදිරියේ දී රුපියල් විසිපන්දහක පෝෂණ දීමනාවක් ද ගෙවීමට සැලසුම් කර ඇත.

ඉතිහාසයේ ප්‍රථම වරට සිදුවන මෙම ගිවිසුම්ගත වීමේ වටිනාකම සම්බන්ධව හා එහි අඩංගු කරුණු පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ශානක අමරසිංහ මහතා මෙහි දී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවබෝධයක් ලබා දුන්නේය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන්  ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා අත්සන් තැබුවේය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව සැළසුම්ගතව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා වෘත්තීය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකර ජාත්‍යන්තර පදක්කම් දිනා ගත හැකි ලෙස ඔවුන් ශක්තිමත් කිරීම අරමුණ වී තිබේ.

ජාතික ක්‍රීඩා සභාව සහ බහුවිධ අංශවල පළපුරුදු වෘත්තිකයින්ගෙන් සමන්විත ජාතික උසස් දක්ෂතා කමිටුව සමඟ එකට එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.

මෙතෙක් පැවති සාම්ප්‍රදායික ක්‍රමවේදය වූයේ ක්‍රීඩා අමාත්‍යාංශය වෙත වෙන් වන මුදලින් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට වැඩි මුදලක් වෙන් කිරීම හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් 6% ක් වැනි අඩු මුදලක් වෙන් කිරීමය.

මෙවර ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශය අනුව, අමාත්‍යවරයාගේ අනුමැතියෙන් පළමු අදියරේ දී ක්‍රීඩා අමාත්‍යාංශ වැය ශීර්ෂයෙන් 20%ක මුදලක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සෘජුවම වැයකිරීමට කටයුතු යොදා ඇත. එය ඉදිරි වසර කිහිපය තුළ 40%ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිතය.

මෙම අවස්ථාවට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන, කමිටු සාමාජික යෂ්වන්ත් මුත්තෙට්ටුවේගම, ජාතික උසස් දක්ෂතා කමිටුවේ සභාපති සංජීව වික්‍රමනායක යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක්  සහභාගී වූහ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <