යුධ ගිනි මැද පිපුණු සිරියාවත් මල

254
im.rediff.com

සිරියාවේ අසිරිය මැකෙන්නට පටන්ගෙන මේ වන විට සෑහෙන කාලයකි. එහෙත් යුධ බිය මැද පිපී, සිරියාවේ අසිරිය නැවත නංවන ඇය ‘මහා ජනූද්’ ය.

ලොව පුරා අනෙකුත් පාපන්දු පුහුණුකරුවන් මෙන්ම ඇය දමස්කස් (Damascus) හි තම ක්‍රීඩකයන්ට යා යුතු කෝණයන්, ගත යුතු අවස්ථාවන් කෑ ගසා කියන්නීය. කළ යුතු වෙනස්කම් කරන්නීය. සිරියානු වෘත්තීය පාපන්දු සමාජයක් වන අල්-මුහෆාසා පාපන්දු කණ්ඩායමේ සහාය පුහුණුකාරිනිය වන ඇය කාන්තාවක් වීම මැද පෙරදිගට අනුව නම් ‘මැජික්’ එකකි.

ඉරාන කාන්තාවන්ට තහනම් “පුරුෂයන්ගේ පිටිය”

රසවිඳීම, ලොව ඕනෑම කෙනෙකුගේ අයිතියකි. එයට ස්ත්‍රී පුරුෂභාවයක් නැත…..

විශේෂයෙන්ම ඉරානය වැනි මැද පෙරදිග රටවල් වල කාන්තාවන්ට තෙදශකයකට අධික කාලයක් පිරිමි පාපන්දු තරග නැරඹීමට පවා තහනම් වූ යුගයක, ආසියාවේ ඈත කෙළවරේ යුධ ගිනි වලින් දැවි දැවී පවතින සිරියාවෙන් මහා ජනූද් වැනි පුහුණුකාරිනියක බිහිවීම මානවවාදය අගයන සැමගේම ජයග්‍රහණයකි. 32 හැවිරිදි ඇය තම හිසකෙස් බැඳ, ක්‍රීඩාවට සුදුසු ඇඳුමක් හැඳ තම කාර්යය ඉටුකරන්නීය.

“පුහුණුකාරීත්වයේ පණිවුඩය රැගෙන යන පුද්ගලයාට තමන් සතු තොරතුරු ගැන ආත්ම විශ්වාසය ඇති නම්, ජනකාන්ත ස්වභාවයක් සහ පිටියට අවැසි නායකත්ව ලක්ෂණ ඇත්නම්, කාන්තාවක හෝ පිරිමියෙකු වීමේ වෙනසක් නැත.” ඇය රොයිටර් හමුවේ ප්‍රකාශ කර තිබුණි. එම ක්‍රීඩා සමාජයේම කාන්තා කණ්ඩායමටත්, සිරියානු කාන්තා කණ්ඩායමටත් ක්‍රීඩා කළ ඇයට ඒ විශ්වාසය තිබුනත් මැදපෙරදිග වැනි කලාපයක ක්‍රීඩකයන්ට එය කෙසේ බලපානු ඇත්දැයි ඔබට ප්‍රශ්නයක් පැන නැගිය හැකියි.

“පටන් ගද්දි නම් ඒක ටිකක් අමාරු වුනා. ඒත් අපි පුරුදු වුනායින් පස්සේ ඇය සහෝදරියක්, මිතුරියක් වගේ වුනා. ඒක හරි සාමාන්‍යයි.” ක්‍රීඩක අම්ජාඩ් කට්කෝට් එසේ කීවේය. අපේ කතා නායිකා, පුහුණුකාරිනිය ක්‍රීඩකයන්ට ගෙනවිත් ඇත්තේ උත්තේජනයකි.

scoopempire.com – මහා ජනූද්, ක්‍රීඩකයන් හා තම මෙහෙය ඉටුකරමින්

සිරියානු පාපන්දු ලීගයේ පළමු කාණ්ඩයේ සිට දෙවන කාණ්ඩයට පහත බැස සිටින අල්-මුහෆාසා කණ්ඩායම දෙසින් බලන කල මේ උත්තේජනය වාසිදායක එකකි. ඔවුන්ගේ අරමුණ වන්නේ නැවත පළමු කාණ්ඩයට තේරී පත්වීම වන අතර ඒ සඳහා සාර්ථක පියවරයන් තබමින් සිටින ඔවුන් මෙතෙක් තරග 10කින් 8ක්ම ජයගෙන ඇතුවා මෙන්ම අනෙකුත් තරග දෙක ජය-පරාජයෙන් තොරව අවසන් කොට ඇත.

2011 සිට ආරම්භ වූ සිවිල් යුද්ධයකින් සහ කාලයක් පුරා පවතින සංස්කෘතික බැඳීම් වලින් බැට කමින් සිටින සිරියාවේ කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන්ට තමන්ගේ ක්‍රීඩා දිවියෙන් වසර ගණනක් අපතේ හරින්නට සිදුවිය. නමුත් ජනූද්ගේ කතාන්දරය කලකට පසු ඔවුන්ට පමණක් නොව මුළුමහත් සිරියාවටම සතුටුදායක පුවතක් රැගෙනවිත් ඇත.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<