තීරණාත්මක දඬුවම් පහරෙන් තරගය සමවෙයි

254

2018 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ 9 වන සතියේ තරගයක් ලෙස ඊයේ (09) ඒකල ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවති කොළඹ පාපන්දු සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය ගෝල 2-2ක් ලෙස ගුවන් හමුදා ක්‍රීඩා සමාජය විසින් ජය-පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට සමත් වූයේ තරගයේ අවසන් ප්‍රහාරයේ දී ඔවුන්ට ලැබුණු දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කර ගැනීමත් සමඟයි.

බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය විසින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට සමත් වූයේ ප්‍රබල කොළඹ පාපන්දු සමාජය එහි දෙවන ස්ථානයට ඇද දමමිනි.

ජාතික පාපන්දු පුහුණුකරු ක්‍රීඩා සමාජ පිළිබඳ අසතුටෙන්

ශ්‍රී ලංකා ජාතික පිරිමි …

තරගය ආරම්භයේ දී ම නිපුණ බණ්ඩාර හට ගෝලයක් වාර්තා කරගැනීමට පහරක් එල්ල කිරීමට අවස්ථාවක් හිමිවුවත් එහි දී ඔහු පන්දුව ‘cross’ කිරීමට උත්සාහ දැරූ නමුත් ඔහුගේ එම උත්සාහය සාර්ථක වූයේ නැත.

කෙසේ නමුත් තරගයේ පළමු මිනිත්තු 15 තුළ ගෝලයක් වාර්තා කරගැනීමට ලැබුණු හොඳම අවස්ථාව හිමි වූයේ කොළඹ පාපන්දු සමාජයට යි. එහි දී මොහොමඩ් ආකිබ් ඉදිරියට යොමු කළ පන්දුවක් ලබා ගැනීමට ගුවන් හමුදා ගෝල රකින ක්‍රීඩක හංසන දිසානායක ඉදිරියට පැමිණියත් එහි දී ඔහුට පෙර පන්දුවට ළඟා වීමට සර්වාන් ජොහාර් සමත් වූ අතර කෙසේ නමුත් එහි දී ඔහු පහර එල්ල කිරීමට වැඩි කාලයක් ගත් නිසා ඔහු එල්ල කළ පහර සාර්ථකව ගෝල රාමුවෙන් ඉවතට යොමුකිරීමට ජීවන්ත ප්‍රනාන්දු සමත් විය.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය තරගයේ පළමු ගෝලය වාර්තා කරගනිමින් තරගයේ පෙරමුණ ගන්නට සමත් විය. ජීවන්ත ලබා දුන් පන්දුවක් කවිඳු ඉෂාන් විසින් ඉතා පහසුවෙන් ගෝල රාමුව තුළට යොමුකරමින් එම ගෝලය වාර්තා විය.

මිනිත්තු කිහිපයකට පසුව දිල්සර විසින් ගෝල රාමු කලාපය ආසන්නයේ දී සිදු කරනු ලැබූ ‘foul’ කිරීමක් වෙනුවෙන් කොළඹ පාපන්දු සමාජ කණ්ඩායමට නිදහස් පහර අවස්ථාවක් පිරිනමන්නට විනිසුරුවරයා තීරණය කළ අතර එහි දී බොඩ්රිච් දිමිත්‍රි යොමු කළ පන්දුව ගෝල රාමු කලාපයෙන් ඉවතට යොමු කිරීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් අසමත් වෙද්දී එය ලබාගත් චරිත රත්නායක පන්දුව ගෝල රාමුව තුළට යොමු කරනු ලැබුවේ තරගයේ ලකුණු තත්වය සම කරමිනි.

කින්නියා අභියෝගයට ජෝසප්වරුන්ගෙන් ප්‍රබල පිළිතුරක්

ඉන් අනතුරුව කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය විසින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට වූ අතර එහි දී දිමිත්‍රි සහ මෝමස් යාපෝ විසින් ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාවන් නිර්මාණය කරගැනීමට සමත් වුවත් ඒවා සාර්ථකව අවසන් කරගැනීමට ඔවුන් සමත් වූයේ නැත.

කෙසේ නමුත් වැඩි කාලයක් ගතවන්නට මත්තෙන් තරගයේ සිය දෙවැනි ගෝලය වාර්තා කරගනිමින් ඉදිරියට පැමිණෙන්නට කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් සමත් විය. ගුවන් හමුදා ආරක්‍ෂක ක්‍රීඩකයින් අතින් සිදු වූ අත්වැරදීමකින් පන්දුව ලබාගත් දිමිත්‍රි එය ඉදිරියට රැගෙන යමින් ඉතා පහසුවෙන් දිසානායක අභිබවමින් එය ගෝල රාමුව තුළට යොමුකිරීමෙන් එම ගෝලය වාර්තා විය.

පසුව නිරාන් කණිෂ්ක යොමු කළ පන්දුවක් හරහා යාපෝ විසින් ගෝල රාමුව ආසන්නයේ සිට පහරක් එල්ල කරනු ලැබුවත් එහි දී ක්‍රියාත්මක වූ දිසානායක සාර්ථකව පන්දුව ගෝල රාමුවෙන් ඉවතට යොමුකරන්නට සමත් විය.

පළමු අර්ධය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 01 – 02 කොළඹ පාපන්දු සමාජය

කොළඹ සමාජයේ ආදේශක ක්‍රීඩකයෙක් ලෙස පිටියට පිවිසි ශෆ්රාන් සාතාර් විසින් යාර 25ක දුර සිට එල්ල කරනු ලැබූ පහරක් නවතාලීමට දිසානායක සමත් වූ නමුත් එහි දී පන්දුව ඔහුගේ දෑතේ වැදී ඉදිරියට යොමුවුවත් යාපෝ එයට ළඟා වීමට පෙර ඔහු විසින් එය සාර්ථකව ග්‍රහණය කරගැනීමට සමත් විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ගුවන් හමුදා ක්‍රීඩකයින් තරගයේ පාලනය තමන් දෙසට යොමුකර ගන්නට සමත් වූ අතර ඒ අනුව ඔවුන් පන්දුව හොඳින් හුවමාරු කරමින් ඉදිරියට රැගෙන යාමෙන් අනතුරුව ජීවන්ත ප්‍රනාන්දු විසින් එය කවිඳු වෙත බාර කළ අතර එහි දී ඔහු එල්ල කළ පහර ඉතා විශිෂ්ට ලෙස රැකගන්නට කොළඹ පාපන්දු සමාජ ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් ඉම්රාන් සමත් විය.

පසුව ගෝල රාමු කලාපය ආසන්නයේ දී කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩකයින් විසින් කවිඳු හමුවේ සිදු කරනු ලැබූ ‘foul’ කිරීමක් වෙනුවෙන් ඔවුන්ට නිදහස් පහර අවස්ථාවක් පිරිනමන්නට විනිසුරුවරයා තීරණය කළ අතර එහි දී කවිඳු විසින්ම එය ලබා ගනිමින් ගෝල රාමුව ඉදිරියට යොමු කළ පන්දුවට දිල්ෂාන් ප්‍රනාන්දු විසින් හිසින් පහරක් එල්ල කරනු ලැබුවත් එහි දී එම පහර ගෝල රාමුවට ඉතා ආසන්නයෙන් ඉහළින් ඇදී ගියේය.

ඉන්දියාවේ සුනිල් චෙට්‍රි ලයනල් මෙසීට අභියෝගයක් වෙයි?

කෙසේ නමුත් තරගය අවසන් වන්නට පෙර චරිත රත්නායක විසින් ගෝල රාමු කලාපය තුළ දී කවිඳු ඉෂාන් හමුවේ ‘foul’ කිරීමක් සිදු කරනු ලැබූ අතර ඒ අනුව ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට දඬුවම් පහර අවස්ථාවක් පිරිනමන්නට විනිසුරුවරයා සංඥා කළේය. එය ලබාගත් සුභාෂ් ප්‍රනාන්දු සාර්ථකව පන්දුව ගෝල රාමුව තුළට යොමු කරනු ලැබුවේ තරගය ජය-පරාජයෙන් තොරව අවසන් කරගනිමිනි.   

සම්පූර්ණ කාලය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 2 – 2 කොළඹ පාපන්දු සමාජය

ThePapare.com තරගයේ වීරයා – ජීවන්ත ප්‍රනාන්දු (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)

ගෝල ලාභීන්

  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – කවිඳු ඉෂාන්, සුභාෂ් ප්‍රනාන්දු
  • කොළඹ පාපන්දු සමාජය – චරිත රත්නායක, බොඩ්රිච් දිමිත්‍රි

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<