COVID එන්නත ලබා දීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩපිළිවෙළ අතරමඟ නතර වේ

195
Covid vaccination program for SL Cricketers

මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් දියත් කිරීමට සැලසුම්කොට තිබූ Covid-19 මර්දන එන්නත්කරණ වැඩසටහන තාවකාලිකව අත්හිටුවීමට  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව ඊයේ (12) සහ පෙරේදා (11) දිනවල දී ක්‍රීඩකයින් හට Oxford-AstraZeneca එන්නත ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ගයන් ගෙන තිබූ නමුත් හදිසියේම එම තීරණයට තිත තැබීමට ක්‍රිකට් බළධාරීහූ කටයුතුකොට තිබුණේ මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් බහුතරය වයස අවුරුදු 30ට වඩා අඩු නිසාවෙන් බව සඳහන් වේ.

තවත් ක්‍රිකට් පුවත්:

දැනට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් Covid මර්දන එන්නත ලබා දිය යුතු ආකාරය සම්බන්ධයෙන්  නිකුත්කොට ඇති නීති රෙගුලාසීන්ට අනුව යම් අයෙකු එන්නත ලබා ගැනීමට සුදුස්සෙකු බවට පත්වන්නේ වයස අවුරුදු 30 හෝ ඊට වැඩි වයස් කාණ්ඩයකට අයත් වන්නේ නම් පමණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුවෙහි සභාපති වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතා මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන්කොට සිටියේ දැනට ලොව බහුලව භාවිතයට ගැනෙන AstraZeneca එන්නත තවමත් මෙරට වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් හට ලබා දී නොමැති නිසාවෙන් මෙවැනි තීරණයකට එළඹීමට සිදු වූ බවයි. 

තවද බංග්ලාදේශ කණ්ඩායමේ මෙරට තරග සංචාරය නිමා වීමෙන් අනතුරුව එන්නත්කරණ වැඩසටහනෙහි අනාගත දිශානතිය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බව ඒ මහතා වැඩිදුරටත් පවසා තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<