ටෙස්ට් ලෝක ශූරතාවයේ ත්‍යාග මුදල් නිවේදනය කරයි

ටෙස්ට් ලෝක ශූරතාවය 2021-23

3444

2021-23 කාලසීමාවේ ලෝක ටෙස්ට් ශූරතාවය සඳහා සහභාගී වූ කණ්ඩායම් 9ට ඩොලර් මිලියන 3.8ක මුදලක් බෙදා දීමට කටයුතු කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙනවා.

තරගාවලියේ අවසන් මහා තරගය තවමත් පවත්වා නොමැති අතර ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව ජුනි 07 වැනිදා ලෝක ටෙස්ට් කිරුළ වෙනුවෙන් සටන් වැදීමට නියමිතයි.

මෙවර තරගාවලියේ ජයග්‍රාහකයින්ට ඩොලර් මිලියන 1.6ක මුදලක් ලබා දීමට සංවිධායකයින් කටයුතු කරන අතර අනුශූරතාවය ලබා ගන්නා කණ්ඩායමට ඩොලර් ලක්ෂ 800,000ක මුදලක් හිමි වෙනවා.

තරගාවලිය සඳහා වෙන් කර ඇති ත්‍යාග මුදලේ වෙනසක් සිදුව නොමැති අතර 2019-21 තරගාවලිය සඳහා ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඩොලර් මිලියන 3.8ක මුදලක් වෙන් කර තිබුණා.

ගියවර ශූරයින් බවට පත් වෙමින් ඩොලර් මිලියන 1.6ක මුදල දිනා ගැනීමට නවසීලන්ත ක්‍රීඩකයින් සමත් වූ අතර එහි අනුශූරයින් වූ ඉන්දියාවට ඩොලර් ලක්ෂ 800,000ක මුදල හිමි වුනා.

මෙවර ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය ලබා ගත් දකුණු අප්‍රිකාවට ඩොලර් ලක්ෂ 450,000ක මුදලක්, සිව්වැනි තැන ලබා ගත් එංගලන්තයට ඩොලර් ලක්ෂ 350,000 මුදලක් හිමි වෙනවා.

මෙවර තරගාවලියේ අවසානය තෙක් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට විශාල අවස්ථාවක් තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි තැනින් තරගාවලිය අවසන් කළ අතර ඔවුන්ට හිමි වන මුදල ඩොලර් ලක්ෂ 200,000ක්.

තරගාවලියේ අනෙක් ස්ථානවල පසු වන නවසීලන්තය (06), පාකිස්තානය (07), බටහිර ඉන්දීය කොදෙව් (08) සහ බංග්ලාදේශ (09) කණ්ඩායම්වලට ද ඩොලර් ලක්ෂය බැගින් හිමි වෙනවා.

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය ඇතුළු දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<