දඟපන්දුවට මුල්තැන දෙමින් ඇෆ්ගනිස්තාන ලෝක කුසලාන සංචිතය නම් කරයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

347

ලබන මස 17 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන ඇෆ්ගනිස්තාන විස්සයි විස්ස සංචිතය ඊයේ (09) නිල වශයෙන් නම් කළා.

සුපිරි ඇෆ්ගන් ක්‍රීඩක Rashid Khan මෙම සංචිතයේ ප්‍රධානතම තුරුම්පුව ලෙස හැඳින්විය හැකි අතර ඔහුට අමතරව තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස අත්දැකීම් බහුල ක්‍රීඩක Mohammad Nabi සහ Sharafuddin Ashraf කණ්ඩායමට කැඳවා තිබුණා.

ඔවුන්ට අමතරව කණ්ඩායමේ දඟපන්දු යැවීමේ බල ඇණිය තවදුරටත් ශක්තිමත් කරමින් ප්‍රධාන පෙළේ දඟපන්දු යවන ක්‍රීඩකයන් වන Qais Ahmad සහ Mujeeb Ur Rahman යන ක්‍රීඩකයන්ට සංචිතයට ඇතුළත් කර ඇත.

එමෙන්ම කලකට පසුව කඩුලු රකින ප්‍රහාරාත්මක පිතිකරු Mohammad Shahzad ද මෙම කණ්ඩායමට ඇතුළත් කිරීමට තේරිම් කමිටුව කටයුතු කිරීම කැපී පෙනුණා.

ලෝක කුසලානය සඳහා නම් කළ මෙම සංචිතයේ නායකත්වය Rashid Khanට ලබා දීමට කටයුතු කර තිබූ නමුත් සංචිතය එළි දක්වා මිනිත්තු කිහිපයකට පසු තමන් නායකත්වයෙන් ඉල්ලා අස්වන බව ඔහු ප්‍රකාශ කර තිබුණා.

“ඇෆ්ගනිස්තාන ක්‍රිකට් මාධ්‍ය වෙතින් ඉදිරිපත් කර තිබූ සංචිතය සඳහා ඇෆ්ගනිස්තාන තේරීම් කමිටුව හෝ ක්‍රිකට් ආයතනය මගෙන් අවසර ලබාගත්තේ නැහැ. කණ්ඩායමේ නායකයා වගේම වගකිවයුතු පුද්ගලයා විදියට කණ්ඩායම තෝරා ගැනීමේ කොටසක් වීමේ අයිතිය මට තියෙනවා.

ඒ නිසා ඇෆ්ගනිස්තාන විස්සයි විස්ස සංචිතයේ නායකත්වයෙන් වහාම ඉවත් වීමට මම තීරණය කළා”, යැයි ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව Rashid Khan ගේ ඉවත් වීමෙන් පුරප්පාඩු වූ නායකත්වය සඳහා අත්දැකීම් බහුල තුන් ඉරියව් ක්‍රීඩක Mohammad Nabi පත්කිරිමට වැඩි ඉඩකඩක් ඇති බව ද වාර්තා වේ.

පන්දුවාර විස්ස ක්‍රිකට් පිටියේ පෙරළිකාර ක්‍රීඩකයන් කිහිපයකින් සමන්විත ඇෆ්ගනිස්තාන කණ්ඩායම මෙවර තරගාවලියේ සුපිරි 12 වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූ අතර ඔවුන් සහභාගී වන පළමු තරගය සුදුසුකම් ලැබීම වටයේ B කාණ්ඩයේ පළමුවැන්නා සමඟ පැවැත්වීමට නියමිතයි.

ඇෆ්ගනිස්තාන සංචිතය: Rashid Khan, Rahmanullah Gurbaz, Hazratullah Zazai, Usman Ghani, Asghar Afghan, Mohammad Nabi, Najibullah Zadran, Hashmatullah Shahidi, Mohammad Shahzad, Mujeeb ur Rahman, Karim Janat, Gulbadin Naib, Naveen ul Haq, Hamid Hassan, Sharafuddin Ashraf, Dawlat Zadran, Shapoor Zadran, Qais Ahmed

අතිරේක: Afsar Zazai, Farid Ahmed Malik

ලෝක කුසලානයේ උණුසුම ඔබ වෙත ළඟා කරන්නට ThePapare.com අප සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<