මලල ක්‍රීඩාවේ ප්‍රගමනය ගැන සභාපතිගේ විශ්වාසය

233

90 දශකය තුළ දී ස්වර්ණමය යුගයක් පසු කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් නම් කිසිසේත් අඩු වී නැත. එහෙත් පසුගිය කාලය පුරාවටම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් ප්‍රශ්න කරමින් නොයෙක් චෝදනා එල්ල විය.

මේ ගැන සහ මලල ක්‍රීඩාවේ ආසන්නතම සැලසුම් ගැන ඊයේ (28) පැවති මාධ්‍ය හමුවක් අතරතුර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගම් සභාපති පාලිත ප්‍රනාන්දු මහතා සිය අදහස් ප්‍රකාශ කළේය. 95 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය ද මේ සතියේ දී පැවැත්වෙන බැවින් මලල ක්‍රීඩාව ගැන උනන්දුවක් දක්වන සෑම කෙනෙකුටම වැදගත් තොරතුරු කිහිපයක්ම මෙහි දී අනාවරණය විය.  

ජාතික මලල ක්‍රීඩා සංචිතය ගැන අදහස් පළකරමින් ඔහු කියා සිටියේ මෙවැන්නක්,

“2018 අරමුණු කරගෙන සංචිත 3ක් හැදුවා. ඊට මැරතන් ක්‍රීඩකයෙකුත්, අනෙක් ක්‍රීඩකයන් 7කුත්, ක්‍රීඩිකාවන් 7කුත් ඇතුළත් කළා. මේ අය සංචිතගත කරලා නුවරඑළියේ දී පුහුණුකරුවෙකු යටතේ පුහුණු කරවනවා.”

එළඹෙන ආසියානු සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලවල් සඳහා වන සංචිත ගැන ද මෙහිදී අදහස් පළවිය.

“ඊට ක්‍රීඩකයන් 25ක් සහ ක්‍රීඩිකාවන් 11ක් සහභාගී කරවන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි බලන්නේ 2017 ජාතික ශූරතාවලියේ දී දක්වන දස්කම්වල ශක්‍යතාවයි.”

ඊට අමතරව ආසියානු සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මට්ටමේ දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වන විට රැඳී සිටින ස්ථාන ගැන ද ප්‍රනාන්දු මහතා හෙළිදරව් කළේය.  පිරිමි මීටර 100, 200 සහ 400 යන ඉසව් කිසිවකින් ආසියානු මට්ටමේ පළමු 10 දෙනා අතර සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු නැත. මීටර 100 සහාය දිවීමේ කණ්ඩායම ආසියාවේ 8 වැනි ස්ථානයේ රැඳී තිබේ. මීටර 400 සහාය දිවීමේ කණ්ඩායම සතුටුදායක ලෙස ආසියාවේ 2 වැනි ස්ථානයේ පසුවෙයි.

උස පැනීමේ ඉසව්ව නියෝජනය කරන මංජුල කුමාර ආසියාවේ 10 වැනි ස්ථානයේ පසුවෙයි. හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කරන වරුණ ලක්ෂාන් ඉන් ආසියාවේ 6 වැනි තැන ගෙන ඇත. 95 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මෙම ස්ථානයන් කෙසේ වෙනස් විය හැකි දැයි අපි බලා සිටිමු.

එමෙන්ම කාන්තා මීටර 100, ඉසව්වෙන් ආසියාවේ 11 වැනි ස්ථානය රුමේෂිකා රත්නායකට හිමිව ඇත. මීටර 200 ඉසව්වෙන් ආසියාවේ 7 වැනි ස්ථානය ශ්‍රී ලංකාව සතුවෙද්දී මීටර 400න් ආසියාවේ පළමු 20 දෙනාටවත් පැමිණෙන්නට කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක සමත්ව නැත.  

මීටර 800 ඉසව්වේ ශ්‍රී ලංකා ශූරියන් දෙදෙනා වන ගයන්තිකා අබේරත්න සහ නිමාලි ලියනආරච්චි පිළිවෙළින් ආසියාවේ 2 සහ 3 ස්ථාන ලබාගෙන සතුටුදායක මට්ටමක සිටිය දී තුන් පිම්ම ඉසව්වෙන් විදූෂා ලක්ෂානිට හිමිව ඇත්තේ ආසියාවේ 5 වැනි ස්ථානයයි.

කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ආසියාවේ 7 වැනි තැන පසුවන්නේ ශ්‍රී ලංකාවේ දිල්හානි ලේකම්ගේ ය.

සමස්තයක් ලෙස පෙනී යන්නේ සහාය දිවීමේ ඉසව් වලින් අපේ ක්‍රීඩකයන් ඉදිරියෙන් සිටින බවත්, කෙටිදුර ඉසව්වලින් ක්‍රීඩිකාවන්ට ඉදිරියට පැමිණිය හැකි බවත් ය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවා තහනම් උත්තේජක භාවිතා කරන බවට නොයෙකුත් චෝදනා පළවන බැවින් මාධ්‍යවේදීන් ඒ පිළිබඳව ඔහුගෙන් විමසා සිටියේය.

“ඒ වගේ දේවල් පාවිච්චි කරලා අහුවුණොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. ඒවාට පරීක්ෂණ සිදු කරනවා. නමුත් තරගවාරයෙන් පිටත දී මේ දේවල් පාවිච්චි වෙනවද කියලත් අපි බලනවා.” ඔහු කීවේ එවැන්නක්.

මේ අතර 2018 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල මීළඟ ජූලි මාසයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමේ ඉඩකඩක් පවතින බව ද සඳහන් විය.      

“අපට මේ හැකියාව ලැබුනොත්, මේක හරියට පවත්වා ගන්න හැකිවුණොත් ජපානයේ දී පැවැත්වෙන ආසියානු තරගාවලියේ දී පදක්කම් 7ක් වත් අපට ගන්න පුළුවන්.”

පාලිත ප්‍රනාන්දු මහතා පැවසුවේ බලාපොරොත්තු සහගතවයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<