ස්කොට්ලන්තයෙන් ලෝක කුසලානයට මූලික සංචිතයක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

170
Scotland

ලබන මාසයේ දී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වන ස්කොට්ලන්ත සංචිතය ඊයේ (09) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණා.

කෙසේ නමුත් මෙම සංචිතය මූලික සංචිතය පමණක් වන අතර අවසන් ක්‍රීඩකයන් 15 දෙනා සහ අතිරේක ක්‍රීඩකයන් සහිත නිල අවසන් සංචිතය ඔක්තෝබර් මස 10 වැනිදා නම් කරන බව ඔවුන් ප්‍රකාශ කළා.

ලෝක කුසලානය සඳහා නම් කරන ලද මූලික සංචිතයේ නායකත්වය Kyle Coetzer හට හිමිව තිබූ අතර Richie Berrington, Calum Macleod, Safyaan Sharif, Matthew Cross සහ Ally Evans යන ක්‍රීඩකයන් ද සංචිතයට ඇතුළත් කර තිබුණා.

එමෙන්ම ලෝක කුසලානය සඳහා නම් කරන ලද ස්කොට්ලන්ත කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස අත්දැකීම් බහුල එංගලන්තය හිටපු පිතිකරු Jonathan Trott එකතු කර ගැනීම ද විශේෂත්වයක්.

Trottගේ පත්කිරීම පිළිබඳව අදහස් දක්වමින් ස්කොට්ලන්ත ප්‍රධාන පුහුණුකරු Shane Burger ප්‍රකාශ කර සිටියේ,

“ඔහු ඉහළ කාර්යය සාධන පරිසර ගැන ඉහළ දැනුමක් ඇති පුද්ගලයෙක්. ඔහු ලෝක කුසලාන, අළුබඳුන ක්‍රීඩා කර තියෙනවා වගේම ලොව පුරා සංචාර රැසකට එක්ව තියෙනවා. එමෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩාවේ ඉල්ලීම් සහ අධික පීඩනයන් යටතේ ක්‍රීඩා කිරීම ගැන අත්දැකීම් ඇති නිසා ලෝක කුසලානය සඳහා කණ්ඩායම ගොඩනැගීමට ඔහු සහය දැක්වීම ඉතා වටින දෙයක්”.

2016 ලෝක කුසලානයේ දී ස්කොට්ලන්තය නියෝජනය කළ Josh Davey, Michael Leask, George Munsey සහ Mark Watt යන ක්‍රීඩකයන් ද මෙම සංචිතයට ඇතුළත් වන අතර Dylan Budge, Chris Greaves, Oli Hairs, Chris Sole, Hamza Tahir, Craig Wallace සහ Brad Wheal ලෝක කුසලාන සංචිතයකට ඇතුළත් වෙන්නේ පළමු වරටයි.

“මෙම කණ්ඩායම දීර්ඝ කාලයක් ඔස්සේ වෙහෙස වී වැඩ කර ඇති අතර අපි කවුරුන්දැයි ලෝකයට පෙන්වීමට අවස්ථාවක් දැන් ලැබිලා තියෙනවා. මෙය පළපුරුදු සහ ආකර්ශනීය කණ්ඩායමක් වන අතර ඉදිරියට ඇති අභියෝග පිළිගැනීමට අපි සූදානමින් ඉන්නවා”, යැයි Burger වැඩි දුරටත් ප්‍රකාශ කළා.

ස්කොට්ලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ දී B කාණ්ඩයෙන් මූලික වටයට එක්වීමට නියමිතව ඇති අතර ඔවුන් තරගාවලිය ආරම්භ කරමින් ඔක්තෝබර් 17 වැනිදා බංග්ලාදේශය සමඟ තරග වැදීමට නියමිතයි.

  • ස්කොට්ලන්ත මූලික සංචිතය: Kyle Coetzer (නායක), Richard Berrington (උප නායක), Dylan Budge, Matthew Cross ((කඩුලු රකින්නා), Josh Davey, Alasdair Evans, Chris Greaves, Oli Hairs, Michael Leask, Calum Macleod, George Munsey, Safyaan Sharif, Chris Sole, Hamza Tahir, Craig Wallace (කඩුලු රකින්නා), Mark Watt, Brad Wheal

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<