කෝමාවේ සිටි පාපන්දු තරුව සුව අතට

89

2017 වසරේ තරගයක් අතරතුර ඇදවැටී පසුව කෝමා තත්වයකට පත්ව සිටි නෙදර්ලන්තයේ Abdelhak Nouri මේ වන විට ඉන් සුවය ලබමින් සිටින බව ඔහුගේ පවුලේ සාමාජිකයින් පවසා ඇත. 

නෙදර්ලන්තයේ ප්‍රමුඛ පෙළේ පාපන්දු සමාජයක් වන AFC Ajax කණ්ඩායම නියෝජනය කරනු ලැබූ Nouri, එහිදී කැපී පෙනෙන දක්ෂතා දක්වමින් නැගී එන පාපන්දු තරුවක් ලෙස සිය නාමය ස්ථාපිත කරගෙන තිබුනි. නමුත් 2017 වසරේ ජූලි මස 08 වන දින ඔහුට අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීමට සිදුවිය. ඒ එවර තරගවාරය ආරම්භ වීමට පෙර ජර්මනියේ Werder Bremen පාපන්දු සමාජය සමඟ පැවති සුහද පාපන්දු තරගයක් අතරතුර ඔහු හදිසියේම ක්‍රීඩාංගණය තුළදීම ඇද වැටීම හේතුවෙනි.

අනතුරුව වහාම ඔහුව රෝහල වෙත ගෙන යාමට Ajax වෛද්‍ය කාර්යමණ්ඩලය කටයුතු කළ අතර එහිදී අනාවරණය වූයේ ‘cardiac arrest’ තත්වයක් හේතුවෙන් ඔහු එසේ ඇද වැටුනු බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ මොළයට දරුණු සහ ස්ථිර හානි සිදුවී ඇති බවත්ය. ඒ  අනුව ඔහුව ‘induced coma’ තත්වයකට ලක්කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළ අතර පසුව 2018 වසරේ අගෝස්තු මාසයේ දී ඔහු කෝමා තත්වයෙන් සුවය ලැබුවත් ඔහුව දිගටම රෝහලේ තබන්නට කටයුතු කෙරිනි. 

කෙසේ නමුත් පසුගියදා ඔහුගේ වැඩිමහල් සොහොයුරා විසින් ‘De Wereld Draait Door’ වැඩසටහනට එක්වී අදහස් පළකරමින් ප්‍රකාශ කර සිටියේ Nouri මේ වන විට රෝහලේ සිට ඔවුන්ගේ නිවසට ගෙනැවිත් ඇති බවත් ඔහු කෙමෙන් කෙමෙන් සුවය ලබමින් සිටින බවත් ය. 

“ඔහු ගෙදර ඇවිත් ඉන්නේ ගොඩ කාලයකට පස්සේ. අපි ඔහුව හොඳින් බලා ගන්නවා. ඔහු දැන් ගෙදර ඉන්න නිසා මම හිතනවා ඔහුට ඒක කලින් රෝහලේ හිටියට වඩා හොඳ වෙයි කියලා. ඔහුට තේරෙනවා ඔහු ඉන්නේ ගෙදර සුපුරුදු පරිසරයක ඔහුගේ පවුලේ අයත් එක්ක කියලා. ඒ අනුව ඔහු දැන් කෝමා තත්වයේ නෙමෙයි ඉන්නේ.” 

තවදුරටත් ඔහු මුහුණේ චර්යා හරහා සමහර අවස්ථා වල පවුලේ සාමාජිකයින් සමඟ සන්නිවේදනය කරන බවත්, තවමත් ඔහුට ඇඳෙන් නැගිටීමට හැකියාවක් නොමැති බවත් එහිදී අනාවරණය විය. 

“ඔහුට තාමත් ඇඳෙන් නැගිටින්න හැකියාවක් නෑ. තාම ඔහු දිගටම ඇඳේ ඉන්න නිසා අපි ඔහුට ඔක්කොම වැඩ ටික කරලා දෙන්න ඕනේ. සමහර හොඳින්ම ඉන්න දවස් වලට ඔහු ඇහිබැමි හරහා වගේම පොඩි සිනහවකින් අපිත් සමඟ අදහස් හුවමාරු කර ගන්නවා. ඒත් ඔහුට ගොඩක් වෙලා ඒක තියන් ඉන්න තාම අමාරුයි.” 

තවත් කියවන්න:

ඔහුගේ මෙම සෞඛ්‍ය තත්වයත් සමඟ ඔහුට ඉදිරියේ දී පාපන්දු ක්‍රීඩා කිරීමට හැකියාවක් නොමැති බව වෛද්‍යවරුන් අනතුර සිදුවූ අවස්ථාවේ දීම දන්වා ඇත. කුඩාකල සිටම මැදපෙළ ක්‍රීඩකයෙකු ලෙස ඉහළ දක්ෂතා දැක්වූ ඔහු, වයස අවුරුදු 18ක් තරම් තරුණ වයසක දී Ajax කණ්ඩායම වෙනුවෙන් සිය මංගල තරගය ක්‍රීඩා කිරීමට වරම් හිමිකර ගැනීමට සමත් වූ අතර මෙම අනතුර වන විට Ajax කණ්ඩායම වෙනුවෙන් ඔහු ක්‍රීඩා කර තිබූ නිළ තරග සංඛ්‍යාව 9කි. ඊට අමතරව ඔහු වයස අවුරුදු 16න් පහළ, 17න් පහළ, 18න් පහළ හා 19න් පහළ නෙදර්ලන්ත ජාතික පාපන්දු කණ්ඩායම් ද නියෝජනය කරමින් ඉහළ දස්කම් දක්වන්නට සමත් විය. 

ඒ අනුව ඔහු මේ තත්වයෙන් සම්පූර්ණ සුවය ලබන අවස්ථා ඉතා අවම වුවත් ඔහුගේ පවුලේ සාමාජිකයින් බලාපොරොත්තු වන්නේ නුදුරු අනාගතයේ දීම ඔහුට මෙම තත්වයෙන් සම්පූර්ණ සුවය ලැබීමට හැකිවනු ඇති බවයි. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<