ඉන්දීය ක්‍රිකට් සභාපති නිරෝධායන කාලය කප්පාදු කරන්නට සැරසේ

248

මේ වසර අවසානයේ දී පැවැත්වීමට නියමිතව තිබෙන ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා ඔවුන් කැමැත්තෙන් සිටින නමුත් ඊට පෙර ඉන්දීය ක්‍රීඩකයින් සඳහා කෙටි නිරෝධායන කාලයක් අවශ්‍ය බව ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී සෞරව් ගංගුලි මහතා පවසා සිටියි.

පළමු පෙළ දේශීය ක්‍රිකට් තරගාවලිය තවත් පස්සට

“මෙල්බර්න් නගරය හැරුණු විට ඕස්ට්‍රේලියාවේ අනෙක් ප්‍රදේශවල කොරෝනා වසංගතය පැතිරීම ගොඩක් දුරකට පාලනය වුනු බවක් තමයි අපිට පෙනෙන්න තියෙන්නේ. දැනට තියෙන තත්වය අනුව අනිවාර්යයෙන් අපි ඕස්ට්‍රේලියාවේ සංචාරය කරනවා. හැබැයි නිරෝධායන කාලය ටිකක් අඩු කරන්න අපි බලාපොරොත්තු වෙනවා” යැයි රූපවාහිනී වැඩසටහනක් සමඟ එක්වෙමින් ගංගුලි පැවසීය.

“සති දෙකක් කියන්නේ ටිකක් ලොකු කාලයක්, ඒක නිසා අපේ ක්‍රීඩකයින්ව සති දෙකක කාලයක් හෝටල් කාමර තුල හිර කරලා නිරෝධායනය කරන්න බලාපොරොත්තුවක් නැහැ. නිරෝධායනය අවශ්‍යයි. හැබැයි සති දෙකකට වඩා ටිකක් කාලය අඩු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද ක්‍රීඩකයින්ට එහෙම කරාම ගොඩක් ලොකු වදයක් වෙනවා. මානසිකව සහ ශාරීරිකව. ඕස්ට්‍රේලියාවේ තත්වය හොඳ නිසා අපිට ඒකට අවස්ථාව ලැබෙයි කියලත් අපි විශ්වාස කරනවා.”

ඊයේ (12) සාර්ථකව නිමා වූ එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් තරගය කොරෝනා නිසා නවතා දැමුණු ජාත්‍යන්තර ක්‍රිකට් තරග බිමේ ආරම්භය ඉතාමත් සාර්ථක ලෙස සටහන් කළා. ටෙස්ට් තරග තුනකින් යුත් මේ තරගාවලිය සඳහා සහභාගී වන කොදෙව් කණ්ඩායම පසුගිය ජුනි 9 වැනිදා එංගලන්තයට පැමිණි අතර දින 14ක නිරෝධායන කාලය අවසන් කිරීමෙන් පසුව ඔවුන් සිය පුහුණුවීම් ආරම්භ කළේය.

පසුගිය වසරේ පැවති ඕස්ට්‍රේලියා – ඉන්දීය ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම සමත් විය.  

කෝලි සමඟ වැඩ කිරීම අසීරු ද? උපනායකයා උත්තර දෙයි

“මේක තියුණු තරගාවලියක් වේවි. කලින් අපි සෙල්ලම් කළාට වඩා ශක්තිමත් කණ්ඩායමක් දැන් ඔවුන් සතුව ඉන්නවා. ස්මිත් සහ වෝනර් දැන් ආයිත් කණ්ඩායමට ඇවිල්ලා ඔවුන් සමඟ සෙල්ලම් කරනවා. ඔවුන් දෙදෙනාම ඉතාමත් හොඳින් ලකුණු අතර ඉන්නවා. හැබැයි කෝලි ඇතුළු අපේ කණ්ඩායමත් ඕස්ට්‍රේලියාව ලබා දෙන අභියෝගය භාර ගැනීමට කිසිසේත්ම පසුබට වෙන්නේ නැහැ. මොකද අපේ කණ්ඩායමත් ඉතාමත් සවිමත්” යැයි ගංගුලි අවසන් ලෙස පැවසීය.

මේ වන විට පවතින තත්ත්වය අනුව සැප්තැම්බර් – ඔක්තෝබර් හෝ ඔක්තෝබර් – නොවැම්බර් අතර කාලවකවානු දෙකෙන් එකක් තුල ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය වඩාත් උනන්දු වනු ඇත. කෙසේ නමුත් ගංගුලි පැවසු පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳව ගන්නා අවසන් තීරණය මත පදනම්ව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීම සඳහා ඉඩප්‍රස්ථාවක් සොයා ගැනීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් පසු වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<