ලොව වටිනාම T20 කණ්ඩායමට ලංකාවෙන් දෙන්නෙක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

4862
ICC announces most valuable team of T20 World Cup 2021

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී නිමාවට පත් වුණු පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා පදනම් කර ගනිමින් නම් කරන ලද ලොව වටිනාම විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙක් වන වනිඳු හසරංග සහ චරිත් අසලංක ඇතුළත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.

අතිරේක ක්‍රීඩකයකු ද සමඟින් නම් කරන ලද 12 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ අංක 4 පිතිකරුවා ලෙස චරිත් අසලංකත්, තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංගත් එක් කර තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලියේ දී කැපී පෙනෙන දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් මෙම කණ්ඩායමට ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල් 5ක ක්‍රීඩකයින් ඇතුළත්ව සිටින අතර ඒ අතරට ඉන්දීය කණ්ඩායමේ එකම ක්‍රීඩකයකු හෝ ඇතුළත් නොවීම විශේෂත්වයක්.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ තරග 8කට ක්‍රීඩා කළ වනිඳු කඩුලු 16ක් බිඳ හෙළමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටිනවා. කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 9.75ක් ලෙස රඳවා තබා ගැනීමට සමත්ව සිටින වනිඳු දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් ද දවා ගැනීමට සමත් වුනා.

සුපිරි කණ්ඩායම් 12 තරග වටයේ ලොව වැඩිම කඩුලු ලාභියා බවට පත්වුනේ චරිත් අසලංක. තරග 6කට ක්‍රීඩා කළ අසලංක රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව 231ක් වන අතර එහි ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 46.20ක් ලෙස සටහන්.

ශ්‍රී ලංකාවට අමතරව ලෝක ශූරයින් වූ ඕස්ට්‍රේලියාව, අනුශූරයින් වූ නවසීලන්තයට අමතරව එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය යන රටවල් නියෝජනය කරමින් ක්‍රීඩකයින් එක් කිරීමට පංච පුද්ගල කමිටුව පියවර ගෙන තිබුණා.

ප්‍රවීණ විස්තර විචාරකයකු වන හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඉයන් බිෂොප් ප්‍රධානත්වය දරන ලද කමිටුවට හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ෂේන් වොට්සන් මෙන්ම විස්තර විචාරයේ නියුතු නටාලි ජර්මානුස්, ප්‍රකට විස්ඩන් සඟරාවේ ලෝරන්ස් බූත් සහ ප්‍රංශ පුවත් සේවයේ නියුතු ශහිඩ් හෂ්මි යන මහත්ම මහත්මීන් ඇතුළත්ව සිටියා.

මෙම කණ්ඩායමේ නායකයා ලෙස පාකිස්තානු නායක බාබර් අසාම් නම් කර තිබෙන අතර කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස එංගලන්ත ක්‍රීඩක ජොස් බට්ලර් නම් කර තිබෙනවා.

ලොව වටිනාම විස්සයි විස්ස කණ්ඩායම:ICC announces most valuable team of T20 World Cup 2021

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<