කොළඹ පාසල් දෙකක් තරගාවලියෙන් ඉවතට

102

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ සීමිත පන්දුවාර පාසල් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 32 වටයේ තරග දෙකක් ඊයේ (2) ක්‍රියාත්මක වූ අතර එහි දී කොළඹ පාසල් දෙකක් තරගාවලියෙන් ඉවතට ඇද දමමින් වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය සුපිරි 16 වටයේ තරග වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.

වේල්ස් කුමර විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය (සුපිරි 32 වටය)

සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට කඩුලු 4ක ජයක් හිමි වූ මේ තරගයේ දී නිපුන් ධනංජය ලබා ගත් නොදැවුණු අර්ධ ශතකය තරගයේ ප්‍රධානතම හැරවුම් ලක්ෂය විය.

මොරටුව වේල්ස් කුමර පිටියේ දී ක්‍රියාත්මක වූ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් වේල්ස් කුමර විද්‍යාලය පන්දුවාර 50 අවසන්  සියල්ලන්ම දැවී ගියේ ඔවුන්ගේ ඉනිම ලකුණු 147කට සීමා කරගෙනයි.

එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ලක්ෂාන් පෙරේරා ලකුණු 34ක් ලබා ගන්නා විට දෙදින තරගාවලියේ සුපිරි 16 වටයේ ශතකයක් ලබා ගත් කාවින්ද ද මෙල් ලකුණු 23කට දැවී ගියේය. පන්දු යැවීමේ දී අචින්ත ප්‍රනාන්දු සහ මෙනූෂ පෙරේරා අතරේ කඩුලු 2ක බැගින් බෙදී යන ලදි.

ඊට පිළිතුරු දුන් සාන්ත ජෝසප් වාස් විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පිතිකරණයක නිරත වූ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායක නිපුන් ධනංජය නොදැවී ලබා ගත් සටන්කාමි අර්ධ ශතකය නිසාවෙන් වේල්ස් කුමර පන්දු යවන්නෝ දැඩි වෙහෙසකට ලක්විය. 

පන්දු යැවීමෙන් ද දස්කම් අතරට පැමිණි අචින්ත ප්‍රනාන්දු ලකුණු 24ක් ලබා ගන්නා විට පන්දුවාර 38කුත් පන්දු 2ක් අවසානයේ ලකුණු 148 ඉලක්කය අභිබවා යාමට ඔවුන්ට හැකි විය. දකුණතින් වේගපන්දු යවන නායක නදුක ප්‍රනාන්දු ලකුණු 25කට කඩුලු 4ක් දවාලමින් පන්දු යැවීමෙන් දස්කම් දැක්විය.

වේල්ස් කුමර විද්‍යාලය – 147 (42.4) ලක්ෂාන් පෙරේරා 34, කාවින්ද ද මෙල් 23, තරිඳු අමරසිංහ 20*, අචින්ත ප්‍රනාන්දු 2/17, මෙනූෂ පෙරේරා 2/38.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 151/6 (38.1) නිපුන් ධනංජය 64*, අචින්ත ප්‍රනාන්දු 24, විශ්ව රාජසිංහ 22, කවිඳු රාජපක්ෂ 20*, නදුක ප්‍රනාන්දු 4/25.

ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය (සුපිරි 32 වටය)

සාන්ත සර්වේසස් විද්‍යාලයේ කේෂර නුවන්තගේ තුන් ඉරියව් දස්කම් කැපී පෙනුණු මේ තරගය ඩී. එස්. සේනානායක විද්‍යාල ක්‍රිකට් පිටියේ දී නිමා වූයේ සාන්ත සර්වේසස් විද්‍යාලයට කඩුලු 7ක දැවැන්ත ජයක් හිමිකර දෙමිනි.

කාසියේ වාසිය දිනා ගත් ඩී. එස්. සේනානායක විද්‍යාල නායක මුදිත ලක්ෂාන් පළමුව පන්දුවට පහර දීමට අවස්ථාව ලබාගත් නමුත් අපේක්ෂිත මට්ටමේ ලකුණු ප්‍රමාණයක් වෙත යාමට ඔවුන්ට අවස්ථාව නොලැබුණි. ඒ සාන්ත සර්වේසස් පන්දු යවන්නෝ ඉතාමත් හොඳින් ඩී. එස්. සේනානායක විද්‍යාල පිතිකරුවන්ව සිය ග්‍රහණයට නතු කරගත් නිසාවෙනි.

පන්දු යැවීමෙන් ලකුණු 15කට කඩුලු 3ක් දවා ගත් නුවන්ත පිතිකරණයෙන් ද නොදැවී ලකුණු 29ක් ලබා ගනිමින් ඩී. එස්. සේනානායක විද්‍යාලය ලබා දුන් ලකුණු 74 ඉලක්කය පහසුවෙන්ම හඹා ගියේ පන්දුවාර 12කුත් පන්දු 4ක් පමණක් වැය කරමිනි. කඩුලු රකින පිතිකරු චිහාන් කළිඳු ලකුණු 23ක් ලකුණු සටහනට එකතු කළේය. 

ඩී. එස්. සේනානායක විද්‍යාලය – 73 (32.5) කේෂර නුවන්ත 3/15, දමිඳු සංකල්ප 2/08, පසන් තත්සර 2/18.

සාන්ත සර්වේසස් විද්‍යාලය – 74/3 (12.4) කේෂර නුවන්ත 29*, චිහාන් කළිඳු 23, මනුල පීරිස් 2/23

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<