ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ Rising Stars ආසියානු ශූරයන් වෙයි

ACC Rising Stars Asia Cup 2026

1
ACC Rising Stars Asia Cup 2026

පන්දුවෙන් පන්දුවට උණුසුම් වූ ශ්‍රී ලංකා A – පාකිස්තාන A අවසන් මහා තරගයෙන් කඩුල්ලක තියුණු ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 2026 ACC Rising Stars ශූරතාව දිනා ගත්තා.

කටාර් හි දී පැවැති මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම ජයග්‍රහණය ලබා ගන්නේ අපරාජිතව සිටිමින් වීම විශේෂත්වයක්.

අද (29) Doha හී West End Park ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම අවසන් මහා තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 9ක් දැවී  ලකුණු 216ක් ලබා ගන්නවා.  ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම ඉලක්කය සපුරා ගන්නේ අවසන් කඩුල්ලේ දී වන අතර කෙසේ වෙතත් ඒ වෙද්දී ඔවුන්ට තවත් පන්දු 51ක් ද ඉතිරි වී තිබුණා.

>>ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ ඉන්දියාව පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම

 

පවන් රත්නායක (නායක), ලසිත් කෲස්පුල්ලේ, සිනෙත් ජයවර්ධන, නිශාන් මදුශ්ක (කඩුලු රකින්නා), නිපුන් ධනංජය, ජනිත් ලියනගේ, වනුජ සහන්, ලහිරු සමරකෝන්, රවිඳු ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත් සහ ගරුක සංකේත්.

 

පාකිස්තාන A ක්‍රිකට් කණ්ඩායම

 

Abdul Samad (නායක), Shamyl Hussain, Maaz Sadaqat, Shahzaib Khan ,  Hasan Nawaz, Farhan Yousaf, Rohail Nazir (කඩුලු රකින්නා), Mohammad Imran, Ahmed Daniyal, Sufyan Moqim සහ Ali Raza

ජයග්‍රාහී එම ඉනිමේ වරෙක ලකුණු පුවරුව කඩුලු 7ක් දැවී 198ක් ව තිබූ අතර යැවුණ තවත් පන්දු 5ක දී ලකුණු පුවරුව කඩුලු 9ක් දැවී එම ලකුණු ප්‍රමාණයේ ම රැඳී පැවැතියා. එලෙසින් තරගයේ පාලනය පාකිස්තානුවන් සතු කර ගනිද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු ලහිරු සමරකෝන් සහ ගරුක සංකේත් මත පැටවුණා.

වේගයෙන් පන්දුවට පහර දෙන ලහිරු සමරකෝන් මෙම ඉනිමේ දී කල්යල් බලා ඉනිම ගොඩ නගද්දී යොවුන් ක්‍රීඩක ගරුක සංකේත් ද තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් උපරිම ශක්තිය තම කණ්ඩායම වෙත ලබා දුන්නා. තරගය කුමන මොහොතක ප්‍රතිවාදීන් සතු වේ දැයි යන දෙගිඩියාව බිඳ දැමූ ඔවුන් දෙදෙනා අවසන් කඩුල්ලට පන්දු 29ක් තුළ ලකුණු 22ක සබඳතාවක් එක් කරමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියා.

එහි දී ලහිරු සමරකෝන් පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 15ක් ද සහ ගරුක සංකේත් පන්දු 7ක දී නොදැවී ලකුණු 4කුත් ලබා ගන්නවා.

සුපුරුදු ලෙසින් ම මෙම තරගයේදීත් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ ලසිත් කෲස්පුල්ලේ සහ සිනෙත් ජයවර්ධන විසින්. ඔවුන් දෙදෙනාට අද දවසේ දී එතරම් ම ප්‍රාතිහාර්යයක් පෑමට හැකි වෙන්නේ නැහැ. ඔවුන්ගේ සබඳතාව පන්දු 27ක ලකුණු 38කට සීමා වුණා.

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ සිනෙත් ජයවර්ධන ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යද්දී පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 60ක් එක් වෙද්දී ලසිත් කෲස්පුල්ලේට ද පිටියෙන් ඉවත් වීමට සිදු වුණා. ඒ වෙද්දී ඔහු පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබා සිටියා.

අනතුරු ව ශ්‍රී ලංකා ඉනිමේ ඉහළ ම ලකුණු සබඳතාව එක් කිරීමට නිශාන් මදුශ්ක සහ නායක පවන් රත්නායක සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 85ක දී ලකුණු 80ක සබඳතාවක් එක් කරනවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ පවන් රත්නායක ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියා.

ඉන් අනතුරු ව නිපුන් ධනංජය ලකුණු නොලබා ම ද, ජනිත් ලියනගේ පන්දු 13කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 11කට ද සහ රවිඳු ප්‍රනාන්දු ලකුණු 3කට ද දැවී යනවා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක් වුණේ කඩුලු 6ක් දැවී ලකුණු 176ක් ලෙසයි.

අනතුරු ව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 198ක් වෙද්දී 7 වැනි කඩුල්ලට නිශාන් මදුශ්ක ද දැවී යනවා. ඔහු ඉනිම හැර යද්දී පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 87ක් ලබා සිටියා. එය ඔහුගේ මෙම තරගාවලියේ පිට පිට ලබා ගත් සිව් වැනි අර්ධ ශතකයයි.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පන්දු 18ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 13ක් ලබා සිටි විජයකාන්ත වියස්කාන්ත් ද සහ වනුජ සහන් (0) ද දැවී යෑමත් සමඟිනුයි ශ්‍රී ලංකා ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 198ක් බවට පත් වෙන්නේ.

කඩුලු දවා ගැනීමේ දී තවමත් 18 වැනි වියේ පසුවෙන දකුණතින් මද වේග පන්දු යවන Ali Raza ලකුණු 58කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව Sufyan Moqim කඩුලු 2ක් ද, Ahmed Daniyal, Hasan Nawaz සහ Maaz Sadaqat කඩුල්ල බැගින් ද දවා ගත්තා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන ඉනිමේ පළමු කඩුල්ලට ලකුණු 13 දී දැවී ගිය ද 2 වැනි කඩුල්ලට පන්දු 65ක දී ලකුණු 48ක් එක් කිරීමට Shamyl Hussain සහ Shahzaib Khan සමත් වෙනවා.

එහි දී Shamyl Hussain පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 40කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා. Shahzaib Khan ඉනිමේ 6 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 60ක් ලබා සිටියා.

ඔහු ගේ ඉනිම තුළ දී Hasan Nawaz (9) හා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 45ක දී ලකුණු 31ක සබඳතාවක් ද නායක Abdul Samad හා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 72ක දී ලකුණු 52ක සබඳතාවක් ද ගොඩ නගනවා.

එහි දී Abdul Samad පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා සිටියා.

පාකිස්තාන ඉනිමේ 41 වැනි පන්දුවාරය අවසන් වෙද්දී ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 8ක් දැවී ලකුණු 167ක් ලෙසිනුයි. ඒ අවස්ථාව පිටියට එක් වූ Rohail Nazir සහ Sufyan Moqim එක් ව 9 වැනි කඩුල්ලට පන්දු 45ක දී ලකුණු 46ක සබඳතාවක් එක් කරමින් පාකිස්තාන ඉනිම ලකුණු 200 ඉක්මවා යෑමට සැලැස් වූවා.

එහි දී Rohail Nazir පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත් අතර Sufyan Moqim පාකිස්තාන ඉනිම අවසන් වෙද්දී පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 16ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී රවිඳු ප්‍රනාන්දු ලකුණු 26කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව ගරුක සංකේත් ද කඩුලු 3ක් දවා ගත්තා. ඔවුන් දෙදෙනාට අමතර ව වනුජ සහන් කඩුලු ද්විත්වයක් ද සහ නිපුන් ධනංජය කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • පාකිස්තාන A ක්‍රිකට් කණ්ඩායම– කඩුලු 9ක් දැවී 216 (50.0)Shamyl Hussain 40, Shahzaib Khan 60, Abdul Samad 33, Rohail Nazir 37, රවිඳු ප්‍රනාන්දු 3/26, ගරුක සංකේත් 3/46, වනුජ සහන් 2/33
  • ශ්‍රී ලංකා Aක්‍රිකට් කණ්ඩායම– කඩුලු 9ක් දැවී 220 (41.3) ලසිත් කෲස්පුල්ලේ 26, සිනෙත් ජයවර්ධන 20, නිශාන් මදුශ්ක 87, පවන් රත්නායක 30, Ali Raza 3/58, Sufyan Moqim 2/55

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමට කඩුල්ලක ජයක්.  

තරගයේ වීරයා – නිශාන් මදුශ්ක (ශ්‍රී ලංකාව)

තරගාවලියේ වීරයා – ලසිත් කෲස්පුල්ලේ (ශ්‍රී ලංකාව)

ACC Rising Stars ආසියනු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<