ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නෙදර්ලන්තයත් පරාජය කරයි

ICC Women’s Emerging Nations Trophy 2026

3

ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ 2 වැනි තරගය ද පහසුවෙන් ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.  

ඔවුන් වෙතින් පරාජයට පත් අලුත් ම කණ්ඩායම වූයේ නෙදර්ලන්ත කණ්ඩායමයි. ඔවුන්ට එරෙහි ව කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.  

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සුපිරි 6 වටයත් ජයග්‍රහණයකින් ආරම්භ කරයි

Ajman හි Karwan ක්‍රීඩා සමාජ ක්‍රිකට් පිටියේ දී (22) නිමා වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නෙදර්ලන්ත ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 57ක් පමණයි. එම ඉලක්කය ශ්‍රී ලංකා ඉනිමේ තවත් පන්දු 76ක් ද ඉතිරි කර ගනිමින් කඩුල්ලක් පමණක් දැවී සපුරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.  

ශ්‍රී ලංකාව මෙම තරගය හා එක් වෙන්නේ පෙර තරගයට එක් වූ කණ්ඩායම ම එක් කර ගනිමිනුයි.  

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 

හර්ෂිතා සමරවික්‍රම (නායිකාව), විශ්මි ගුණරත්න, ඉමේෂා දුලානි, හසිනි පෙරේරා,  නිලක්ෂිකා සිල්වා, කෞෂිනී නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), කවීෂා දිල්හාරි,  සුගන්දිකා කුමාරි, චේතනා විමුක්ති, සත්‍යා සංදීපනී සහ නිමාෂා මීපගේ. 

 

නෙදර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම 

Sterre Kalis (නායිකාව), Phebe Molkenboer, Sanya Khurana, Frederique Overdijk, Carlijn van Koolwijk, Robine Rijke, Iris Zwilling, Rosalie Ann Lawrence (කඩුලු රකින්නිය), Myrthe van den Raad, Silver Siegers සහ Caroline de Lange. 

ජයග්‍රාහී ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 13 දී දැවී ගිය ද එතැන් සිට කිසිඳු කඩුල්ලක් ලබා නොදෙමින් තරගය අවසන් කිරීමට විශ්මි ගුණරත්න සහ හර්ෂිතා සමරවික්‍රම සමත් වෙනවා.  

එහි දී විශ්මි ගුණරත්න පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 29ක් ද සහ නායිකා හර්ෂිතා සමරවික්‍රම පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 21ක් ද ලබා ගත්තා.  

ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට නොදැවී එක් කළ ලකුණු සංඛ්‍යාව 45ක්. ඒ සඳහා ඔවුන් වැය කළේ පන්දු 28ක් පමණයි.  

ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය එක ම ක්‍රීඩිකාව වූ ඉමේෂා දුලානි ලබා ගත්තේ ලකුණු 6ක් පමණයි. පන්දු 7ක දී හතරේ පහරක් සමඟින් එක් වූ එම කඩුල්ලේ හිමිකාරීත්වය Iris Zwilling සතු වුණා.  

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නෙදර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා Sterre Kalis. ඇය පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා.  

ඊට අමතර ව Iris Zwilling පන්දු 22කට මුහුණ දෙමින් ලකුණු 14ක් ලබා ගත්තා. නෙදර්ලන්ත ඉනිමේ අනෙක් සෑම පිතිකාරිනියකගේ ම ඉනිම් තනි ඉලක්කමකට සීමා වූ අතර එහි දී දුවද්දී දැවී යෑම් 4ක් ද වාර්තා වුණා.  

කඩුලු දවා ගැනීමේ දී කවීෂා දිල්හාරි ලකුණු 8කට කඩුලු 2ක් ද සහ නිමේෂා මීපගේ ලකුණු 13කට කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතර ව සත්‍යා සංදීපනී සහ චේතනා විමුක්ති කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • නෙදර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 57 (17.4) Sterre Kalis 26, Iris Zwilling 14, නිමේෂා මීපගේ 2/13, කවීෂා දිල්හාරි 2/08
  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුල්ලක් දැවී 58 (7.2) විශ්මි ගුණරත්න නොදැවී 29, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 21, Iris Zwilling 1/16

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 9ක ජයක්.  

තරගයේ වීරයා – කවීෂා දිල්හාරි (ශ්‍රී ලංකාව) 

තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය අද (23) පාකිස්තානය සමඟින් Ajman හි Karwan ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.   

ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<