එංගලන්ත සුක්කානම අලුත් ක්‍රීඩකයෙකුට

322
Ben Stokes
Ben Stokes

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන එංගලන්ත ටෙස්ට් කණ්ඩායම නම් කර තිබේ. 

>>ඇම්බ්‍රෝස්ගෙන් විශේෂ තීරණයක්<<

පසුගිය ජනවාරි – පෙබරවාරි මාස තුල වසංගතයක් ලෙස ව්‍යාප්ත වූ කොරෝනා වයිරසය නිසා ප්‍රධාන පෙළේ තරග රැසක් අවලංගු විය. වයිරසය ක්‍රමයෙන් පාලනය කරමින් පවතින වටපිටාවක් තුල ක්‍රිකට් ආයතන නැවතත් ක්‍රීඩාව ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටී. 

ඒ අනුව වයිරසයෙන් පසුව ආරම්භ වන පළමු ක්‍රිකට් තරගාවලිය ලෙස එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය හැඳින්විය හැක.  මෙම තරගාවලියේ පළමු තරගය සඳහා සහභාගී වන එංගලන්ත කණ්ඩායම නිල වශයෙන් පසුගිය දා නිවේදනය කළේය.

එම සංචිතය සඳහා ක්‍රීඩකයන් 13ක් ඇතුළත් වන අතර අතිරේක ක්‍රීඩකයන් 9 දෙනෙකු ද ඊට ඇතුළත් වේ. #raisethebat ටෙස්ට් තරගාවලිය ලෙස නම් කර ඇති මෙම ටෙස්ට් තරගාවලිය ජූලි මස 08 වැනිදා ආරම්භ වීමට නියමිතයි. 

>>පිහිය පෙන්වා පුහුණුකරු බියවැද්දූ හිටපු පාකිස්තාන සුපිරි පිතිකරුවා<<

මෙම තරගය සඳහා සහභාගී වන එංගලන්ත කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්ට හිමිව ඇත. ඩර්හැම් කණ්ඩායම නියෝජනය කරන බෙන් ස්ටෝක්ස් එංගලන්තයේ 81 වැනි ටෙස්ට් නායකයා ලෙස ඉතිහාස ගත වනු ඇත. 

පසුගිය බදාදා පල වූ වාර්තාවක බෙන් ස්ටෝක්ස් එංගලන්ත නායකයා ලෙස කටයුතු කිරීමට නියමිත බව තහවුරු කර තිබුණි. 

මීට පෙර එංගලන්ත නායකත්වය ජෝ රූට් හට හිමිව තිබූ අතර ඔහු තම දෙවන දරුවාගේ උපත සඳහා ශෙෆීල්ඩ් වෙත යාම නිසාවෙන් බෙන් ස්ටෝක්ස් එංගලන්ත නායකත්වයකට පත්විය. 

රූට් ශෙෆීල්ඩ් වෙත යාමත් සමඟින් ඔහු එංගලන්ත කණ්ඩායම සිටි ජෛව ආරක්ෂක වටපිටාවෙන් ඉවත් විය. ඒ අනුව ඔහු නැවත කණ්ඩායම හා එක්වීමට පෙර දින 7ක් ස්වයං නිරෝධායනයට ලක්වීමට නියමිතය. 

එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් තරගය එළඹෙන ජූලි මස 16 වැනිදා ආරම්භ වන අතර ජෝ රූට් එම තරගය සඳහා එක්වීමට නියමිතය.

තරගාවලිය සඳහා නම් කළ එංගලන්ත ටෙස්ට් කණ්ඩායම: බෙන් ස්ටෝක්ස් (නායක), ජේම්ස් ඇන්ඩර්සන්, ජොෆ්රා ආචර්, ඩොම් බෙස්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, රොරී බර්න්ස්, ජොස් බට්ලර් (කඩුලු රකින ක්‍රීඩක), සැක් ක්‍රෝලි, ජෝ ඩෙන්ලි, ඔලී පෝප්, ඩොම් සිබ්ලි, ක්‍රිස් වෝක්ස්, මාර්ක් වුඩ්

අතිරේක ක්‍රීඩකයන්: ජේම්ස් බ්‍රේසි, සෑම් කරන්, බෙන් ෆෝක්ස්, ඩෑන් ලෝරන්ස්, ජැක් ලීච්, සකීබ් මහ්මුද්, ක්‍රේග් ඔවර්ටන්, ඔලී රොබින්සන්, ඔලී ස්ටෝන්

එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ කාලසටහන

  • පළමු ටෙස්ට් තරගය – ජූලි 8 වැනිදා සිට 12 වැනිදා දක්වා සවුත්හැම්ප්ටන් හි අගේයාස් බෝල් ක්‍රීඩාංගණයේ දී
  • දෙවන ටෙස්ට් තරගය – ජූලි 16 වැනිදා සිට 20 වැනිදා දක්වා මැන්චෙස්ටර් හි එමිරේට්ස් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ දී 
  • තෙවැනි ටෙස්ට් තරගය – ජූලි 24 වැනිදා සිට 28 වැනිදා දක්වා මැන්චෙස්ටර් හි එමිරේට්ස් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ දී 

>>2011 ක්‍රිකට් ලෝක කුසලානයේ විශේෂ විමර්ශනය අවසන්<<

තවද, එංගලන්ත-බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය රූත් ස්ට්‍රෝස් පුණ්‍යායතනය වෙනුවෙන් කැප කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. එම ආයතනය පිළිකා හේතුවෙන් දෙමව්පියන් අහිමි වන පවුල් සඳහා අරමුදල් රැස් කරන පදනමකි.

ජූලි 25 ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හි පැවැත්වෙන තරගයේ දෙවන දිනය හරහා #RedForRuth වැඩසටහනේ ආගමනය සටහන් කිරීමට නියමිතය. 

මෙම එංගලන්ත කොදෙව් ටෙස්ට් තරගාවලිය සඳහා ප්‍රේක්ෂකයින්ට සහභාගී වීමට අවසර නොමැති නිසාවෙන් තරගය නිවසේ සිට නරඹන විට ඒ සඳහා රතු ඇඳුමින් සැරසීමට රසිකයන් දිරිමත් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටී.

එම තරගයේ දී ක්‍රීඩකයන් රතු තොප්පි පැලඳ සිටින අතර ඔවුන්ගේ ඇඳුම්වල ද, කඩුලුවල හා මායිම් පුවරුවල ද රතු වර්ණය නිරූපණය කිරීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<