පළමු ටෙස්ට් තරගය විසඳුමක් නැතිව අවසන් වෙයි

Sri Lanka tour of Pakistan 2026

1
Sri Lanka tour of Pakistan 2026

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග ද්විත්වයකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පැවැති 1 වැනි තරගය අද (13) විසඳුමකින් තොරව අවසන් වුණා.

Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය කඩුලු 9ක් දැවී ලකුණු 434ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 446ක් ලබා ගත්තා. ලකුණු 12ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 8ක් දැවී ලකුණු 284ක් ලබා සිටියා.

>>ධනංජය සහ කුසල් වාර්තාගත සබඳතාවයක

මෙම තරගය අවසන් දිනයට ආරම්භ වෙන්නේ පාකිස්තාන ක්‍රීඩකයන්ගේ 2 වැනි ඉනිමේ කඩුල්ලක් දැවී ලකුණු 57ක් ලබා සිටියදීයි. ඒ වෙද්දී Azan Awais නොදැවී ලකුණු 22ක් ද සහ Mohammad Taha නොදැවී ලකුණු 24ක් ද ලබා සිටියා.

අද දවසේ යැවුණ පළමු පන්දුවේදී ම Azan Awais ගේ කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වෙන අතර ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 5 වැනි පන්දුවේ දී  Mohammad Taha ද ශ්‍රී ලංකාවේ ගොදුරක් බවට පත් වෙනවා.

ඔවුන්ගේ දැවී යෑමෙන් අනතුරු ව නායක Babar Azam සහ Saud Shakeel එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 87ක දී ලකුණු 50ක සබඳතාවක් එක් කරමින් පාකිස්තාන ඉනිම ගොඩ නගනවා. එම සබඳතාව බිඳ වැටෙන්නේ Babar Azam ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යද්දී පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 34ක් ලබා සිටියා.

Saud Shakeel ඉනිමේ 8 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 210කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 97ක් ලබා සිටියා. පළමු ඉනිමේ දී ලකුණු 7කින් ශතකය අහිමි කර ගත් ඔහු 2 වැනි ඉනිමේ දී ශතකය අහිමි කර ගන්නේ ලකුණු 3කින්. එය ඔහුගේ 26ක් වන ටෙස්ට් තරග දිවියේ 11 වැනි අර්ධ ශතකයයි.

ඔහු දැවී යද්දී Ghazi Ghori හා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 156ක දී ලකුණු 92ක සබඳතාවක් ද එක් කළා. Ghazi Ghori පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී මිලාන් රත්නායක ලකුණු 47කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව අසිත ප්‍රනාන්දු ලකුණු 35කට කඩුලු 2ක් ද සහ ලහිරු කුමාර ලකුණු 65කට කඩුලු 2ක් ද දවා ගත් අතර ධනංජය ද සිල්වා ද කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • පාකිස්තානය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 434 (106.3)Azan Awais30, Tayyab Arif 57, Mohammad Taha 51, Babar Azam 50, Saud Shakeel 93, Ghazi Ghori 48, Arafat Minhas 52, අසිත ප්‍රනාන්දු 3/107, ඩිල්ශාන් මදුශංක 3/108
  • ශ්‍රී ලංකාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 446 (102.0) ලහිරු උදාර 42, කමිඳු මෙන්ඩිස් 58, ධනංජය ද සිල්වා 167, කුසල් මෙන්ඩිස් නොදැවී 119, සොනාල් දිනූෂ 20, Mohammad Abbas 2/68, Saqib Khan7/130
  • පාකිස්තානය – දෙවැනිඉනිම කඩුලු 8ක්දැවී 284 (84.5) Azan Awais 22, Mohammad Taha 24, Babar Azam 34, Saud Shakeel 97, Ghazi Ghori 35, අසිත ප්‍රනාන්දු 2/35, ලහිරු කුමාර 2/65, මිලාන් රත්නායක 3/47

තරගයේ විසඳුමක් නෑ.

තරගයේ වීරයා –  Saqib Khan (පාකිස්තානය)

දෙරට අතර පැවැත්වෙන 2 වැනි අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 17 වැනිදා Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන ක්‍රිකට් සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<