වෙස්ලි විද්‍යාලයත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී

SLSCA U 19 Division I Limited Over Tournament 2026/27

1
SLSCA U 19 Division I Limited Over Tournament 2026/27

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ Tier A කාණ්ඩයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට කොළඹ වෙස්ලි විද්‍යාලය සමත් වුණා.

ඔවුන් මෙම අවස්ථාව සපුරා ගත්තේ මෙතෙක් තරගාවලියේ අපරාජිත ව සිටි කොළඹ නාලන්දා විද්‍යාලයට එරෙහි ව කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී (10) නිමා වූ 2 වැනි අවසන් පූර්ව තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ නාලන්දා විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස සියලුම දෙනා දැවී ලකුණු 143ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි වෙස්ලි විද්‍යාලය තවත් පන්දු 122ක් ද ඉතිරි කර ගනිමින් කඩුලු 4ක් දැවී ලකුණු 144ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

>>මහින්ද විද්‍යාලය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නාලන්දා විද්‍යාලයේ වැඩි ම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු ලිතුම් විජේකුමාර. ඔහු පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තා.

ඊට අමතර ව නෙමිඳු අක්මීමන පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් පා දඟ පන්දු යැවූ සෙනුර ලක්ශාන් ලකුණු 22කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඊට අමතර ව ආඩ්‍රියන් සයින් සහ සවිඳු අත්තනායක කඩුලු ද්විත්වය බැගින් ද, ශම්මා ප්‍රනාන්දු කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි වෙස්ලි විද්‍යාලයීය ආරම්භක පිතිකරු බිනෝත් සංදිල් පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 77ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූවා.

ඊට අමතර ව තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී ලිතුම් සෙනුජ පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී රුසඳු සිල්වා ලකුණු 45කට කඩුලු 2ක් ද, මෙතුක පෙරේරා සහ ලිතුම් විජේකුමාර කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • නාලන්දා විද්‍යාලය – සියලුම දෙනා දැවී 143 (38.2) ලිතුම් විජේකුමාර 59, නෙමිඳු අක්මීමන 22, සෙනුර ලක්ශාන් 4/22, ආඩ්‍රියන් සයින් 2/25, සවිඳු අත්තනායක 2/25
  • වෙස්ලි විද්‍යාලය – කඩුලු 4ක් දැවී 144 (29.2)බිනෝත් සංදිල් 77, ලිතුම් සෙනුජ නොදැවී 24, රුසඳු සිල්වා 2/45

කොළඹ වෙස්ලි විද්‍යාලයට කඩුලු 6ක ජයක්.

තරගාවලියේ මීට පෙර පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් කොළඹ මහානාම විද්‍යාලයට එරෙහි ව ගාල්ල මහින්ද විද්‍යාලය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 36ක ජයග්‍රහණයක් ලබා ගත් ගනිමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව පැවැත්වෙන අවසන් මහා තරගය මේ මස 16 වැනිදා කොළඹ Bloomfield ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<