මාතර සාන්ත තෝමස් විද්‍යාලය අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගනී

SLSCA U 19 Division I Limited Over Tournament 2026/27

1
SLSCA U 19 Division I Limited Over Tournament 2026/27

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ Tier B එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මාතර සාන්ත තෝමස් විද්‍යාලය අද (2) සමත් වුණා.

කුරුණෑගල මලියදේව විද්‍යාලය සමඟ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී ඔවුන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම කඩඉමට පිවිසෙනවා.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත තෝමස් විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මලියදේව විද්‍යාලය සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 137ක් පමණයි.

ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 6ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මලියදේව විද්‍යාලයේ වැඩි ම ලකුණුලාභියා වූයේ දුශාන් රාජපක්ෂ. ඔහු පන්දු 70කට මුහුණ දෙමින් ලකුණු 28ක් ලබා ගත්තා. ඊට අමතර ව ආරම්භක පිතිකරු තිවංක දිසානායක පන්දු 34ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ද,  රිසිත් විජේසිංහ පන්දු 63ක දී ලකුණු 18ක් සහ රජිත් නවෝද්‍ය පන්දු 26ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් පා දඟ පන්දු යැවූ තත්සර දෙව්මිත් ලකුණු 17කට කඩුලු 3ක් ද සහ දකුණතින් මඳ වේග පන්දු යැවූ පුනාල් පමුදිත ලකුණු 21කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව වින්දිල චනුත් සහ ෆිරාස් අහමඩ් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ෆිරාස් අහමඩ්. ඔහු පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තා. ඊට අමතර ව තත්සර දෙව්මිත් පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 40ක් ද ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 76ක දී ලකුණු 46ක සබඳතාවක් එක් කළා.

කඩුලු දවා ගැනීමේ දී රහල් ද සිල්වා, රිසිත් විජේසිංහ සහ නදුන් බණ්ඩාර කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • මලියදේව විද්‍යාලය – සියලුම දෙනා දැවී 137 (41.2) තිවංක දිසානායක 25, දුශාන් රාජපක්ෂ 28, පුනාල් පමුදිත 3/21, තත්සර දෙව්මිත් 3/17
  • සාන්ත තෝමස් විද්‍යාලය – කඩුලු 6ක් දැවී 140 (37.1)ෆිරාස් අහමඩ් 58, තත්සර දෙව්මිත් නොදැවී 40, නඳුන් බණ්ඩාර 2/36, රහල් ද සිල්වා 2/23, රිසිත් විජේසිංහ 2/30

මාතර සාන්ත තෝමස් විද්‍යාලයට කඩුලු 4ක ජයක්.

අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<