පාපන්දු ලොවේ කිරුළ අහිමි වූ බ්‍රසීලයේ කුමාරයා, Neymar Jr.

4
Getty Images

නේමාර් ජූනියර් පාපන්දු පිටියට සමුදීම

සැම්බා රිද්මයට යළි පණ දෙමින්, පිටිය මැද නර්තනයෙ යෙදෙමින් පාපන්දුවෙන් මැජික් පෙන්වූවත්, දෛවයේ අභියෝග මැද පාපන්දු ලොවේ කිරුළ අහිමි වුණ බ්‍රසීලයේ කුමාරයා, කතා කරමු නේමාර් ජූනියර් ගැන!

ඔබ මීට වසර දහයක්, පහළොවක් ආපස්සට ගොස් අනාගතය දෙස හැරී බැලුවහොත්, 2026 වර්ෂය වන විටත් සැම්බා රිද්මයෙන් පාපන්දු ලෝකය පුදුමයට පත්කළ බ්‍රසීලයෙන් බිහි වුණ මේ කෝඩුකාරයා, ලෝක මට්ටමේ ජයග්‍රහණයක් නොමැතිව, ගෞරවාන්විත සමු ගැනීමකින් තොරව පාපන්දුවෙන් සමු ගනීවී කියා විශ්වාස කරන එකක් නැහැ.

එය ඔබට විහිළුවක් සේ හැඟෙන්න පුළුවන්. ඒත් අවාසනාවනම් විහිළුවක් සේ පෙනුණු ඒ කාරණය වර්තමානය වන විට සැබෑවක් වී තිබීමයි.

පාපන්දු ලෝකයේ විශාල ජයග්‍රහණ, කුසලාන, සම්මාන බොහෝ ප්‍රමාණයක් තමන්ගේ නම ඉදිරියෙන් ලියාගෙන, බ්‍රසීලයෙන් බිහි වූ ලෝක පූජිත පුරාවෘත්තයන් වන පේලේ, රොනල්ඩෝ, රෝනාල්දිනෝ ආදීන්ගෙන් පසුව බ්‍රසීලයේ කිරුළ දරන්නට සැරසී සිටි, එහෙත් අවාසනාවකට දරුණු ආබාධ සහ විනය ගැටළු හේතුවෙන් කිරුළ අහිමි වී ගිය බ්‍රසීලියානු කුමාරයා ගැන අද අපි බලමු.

ඔහු නමින්, නේමාර් ඩා සිල්වා සැන්ටෝස් ජූනියර්. වර්ෂ 1992 පෙබරවාරි 05 වැනි දා බ්‍රසීලයේ මෝගී දාස් කෲසෙස් නගරයේදී නේමාර් උපත ලබනවා. වයස මාස 04ක් වෙද්දී පවුල මුහුණ දුන් දරුණු රිය අනතුරකින් හිසට හානි වුවත් නේමාර් තම ජීවිතය බේරා ගැනීමට සමත් වෙනවා. මොහුගේ පියාත් හිටපු පාපන්දු ක්‍රීඩකයෙක්.

එසේ වූවත් දුප්පත් කමේ ආගාධයෙන් තම දිවිය ඇරඹු පුංචි නේමාර් බොහෝ ආර්ථික ගැටළු වලට මුහුණ දුන්නා. තමන්ට කියා සෙල්ලම් කිරීමටවත් පාපන්දුවක් නොතිබීම නිසාවෙන්, වීදී වල තිබුණු හිස් ටින් වලින් සහ රෙදි බෝල වලින් ක්‍රීඩා කරන්නට පුරුදු වී සිටියා. එයින් ඔහු ඔහුගේ දක්ෂතාවය වර්ධනය කරගන්නටද සමත් වුණා.

ලෝක පූජිත පේලේව ලොවට බිහි කළ බ්‍රසීලයේ සුප්‍රකට ක්‍රීඩා සමාජයක් වන සැන්ටෝස් ක්‍රීඩා සමාජය, වයස අවුරුදු 11 වන විට පුංචි නේමාර්ගේ දක්ෂතාවය හඳුනා ගන්නවා වගේම ඔහුගේ දීප්තිමත් අනාගතය කල් තියාම දකින්නට සමත් වෙනවා. වයස අවුරුදු 17ක් වද්දී සැන්ටෝස් ප්‍රධාන කණ්ඩායම වෙත ඇතුළු වූ නේමාර්, ටික කලකින් වසර 48කට පසු සැන්ටෝස් කණ්ඩායමේ ප්‍රභලම ජයග්‍රහණය විදිහට කෝපා ලිබටාඩොරෙස් ශුරතාවය දිනා දීමට සමත් වුනා.

බ්‍රසීල ජාතික කණ්ඩායමේ දොර මේ හුරුබුහුටි ක්‍රීඩකයාට විවර වන්නේ වයස අවුරුදු 18ක් වන විටයි. 2010 අගෝස්තු 10 වැනි දා තම මංගල ජාත්‍යන්තර තරඟ‍ය ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව ක්‍රීඩා කරන නේමාර්, මංගල තරඟයේදීම ගෝලයක් ලබා ගනිමින් තමන්ගේ දක්ෂතාවය සියල්ලන්ටම පෙන්වා සිටියා.

මේ බ්‍රසීලියානු කොලුගැටයා දක්වන දස්කම් දිහා විස්මයෙන් බලා සිටින යුරෝපයේ දැවැන්තයින් මොහුව තම ක්‍රීඩා සමාජ වෙත ලබා ගන්නට බොහෝ පරිශ්‍රමයක් දැරුවා, එහි අවසන් ප්‍රතිපලය වුනේ නේමාර් 2013 වර්ෂයේදී ස්පාඤ්ඤයේ බාසිලෝනා ක්‍රීඩා සමාජය හා එක් වීමයි.

ඉන්පසුව, ලෝක පාපන්දු ඉතිහාසය රන් අකුරින් ලියවුණු MSN යුගයේ ආරම්භය සිදු වුනා. MSN කියන්නේ ලියෝනෙල් මෙසී, ලුයිස් සුවාරෙස් සහ නේමාර් ගේ තුන් කට්ටුවයි.

මේ තිදෙනා ප්‍රතිවාදීන්ට හිසරදයක් වෙමින් ආරක්ෂක වළලු සුණු විසුණු කර දමන්නට සමත් වුනා. 2014-15 තරඟවාරයේදී බාසිලෝනා කණ්ඩායම ලා ලිගා, කෝපා දෙල් රේ සහ චැම්පියන්ස් ලීග් ‍යන ශූරතා ත්‍රිත්වයම ජයග්‍රහණය කරමින් ට්‍රෙබල් ශූරයින් වද්දී, නේමාර් එම තරඟාවලි තුළ බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල ලාභී ලැයිස්තුවේ පෙරමුණ ලබා ගත්තා.

කාලයත් සමඟම මෙසීගේ සෙවනෙන් මිදී තමාටම කියා අනන්‍යතාවක් නිර්මාණය කර ගැනීමේ අරමුණින් නේමාර් ප්‍රංශයේ පැරී සෙන් ජර්මාන් (PSG) කණ්ඩායම සමඟ එක් වනවා, ඒ ලෝක පාපන්දු ඉතිහාසය උඩු යටිකුරු කරමින් යූරෝ මිලියන 222ක දැවැන්ත මුදලකට ගිවිසුම් ගත වෙමින්.

PSG කණ්ඩායම වෙනුවෙන් දේශීය කුසලාන රැසක් දිනා දෙන්නට නේමාර් සමත් වුණත් PSG ලොකුම සිහිනය වෙලා තිබුණු චැම්පියන්ස් ලීග් ශූරතාවය දිනා ගැනීමට නේමාර්ට හැකියාව ලැබෙන්නේ නැහැ. 2020 වර්ෂයේ අවසාන මහා තරඟයට පැමිණියත් බයර්න් මියුනික් කණ්ඩායම හමුවේ ලද ලද පරාජයත් සමඟින් එම අවස්ථාවද ගිලිහී ගියේ පිටිය මැද දී නෙමාර්ගේ දෑස් කඳුළින් බර කරවමින්.

නේමාර්ගේ ජිවිතය තුළ සිදු වූ බරපතලම අනතුර ගැන විමසා බලන්න අපිට වසර 12ක් ආපස්සට යාමට සිදු වනවා. ඒ එය කතා නොකරම බැරි කාරණයක් වන නිසාවෙන්.

2014 FIFA පාපන්දු ලෝක කුසලානය තම මව් රටේදී පැවැතුනේ බ්‍රසීලියානු ජාතිකයන්ගේ ලෝක කුසලාන සිහිනය නේමාර්ගේ හිස මත රඳවමනින්. පිටියේ ඉතා වේගවත් සහ උපක්‍රමශීලි ක්‍රීඩකයෙකු වූ නේමාර් ආරක්ෂක ක්‍රීඩකයින් රවටමින් පිටිය තුළ පන්දුව පාලනය කිරීම ප්‍රතිවාදීන්ට දරුණු හිසරදයක් වුණා.

එලෙස තරගාවලිය තුල ඉදිරියට පැමිණ, කොළොම්බියාවට එරෙහිව බ්‍රසිලය තරඟ කළ අර්ධ අවසන් පූර්ව වටයේ තරඟයේදී කොළොම්බියානු ක්‍රීඩක හුවාන් කැමීලෝ නේමාර්ගේ පිට කොන්ද වෙත එල්ල කල දණහිස් ප්‍රහාරයෙන් නෙමාර්ගේ කොඳු ඇට පෙලේ බිඳීමක් සිදු වුණා. ඔහුව පරික්ෂා කල වෛද්‍යවරුන් පවසා තිබුණේ එම අනතුර තවත් 2cm ඉහළින් සිදුවුවා නම් නේමාර් සදාකාලිකවම අංශභාගී රෝග තත්වයට පත් වන්න තිබූ බවයි.

මේ ආබාධයත් සමඟ නේමාර්ට ලෝක කුසලානය අහිමි වුණේ බ්‍රසීලයානුවන්ගේද ලෝක කුසලාන සිහිනය බොඳ කර දමමින්. ප්‍රබල ජර්මනිය හමුවේ ගෝල 7 – 1 ක් ලෙස අවසන් පූර්ව තරගයේදී තම මව් රට තුලදී දරුණු පරාජයක අමිහිරි අත් දැකීම විඳ ගත් බ්‍රසීලය නේමාර් ගේ ආබාධය හේතුවෙන් දැඩි පසුබෑමකට ලක්වුණා.

ඉන්පසු දිගින් දිගටම ආබාධ වැලකට මුහුණ දුන් නේමාර්, බාසිලෝනා අතහැර ප්‍රංශය සමඟ එක් වෙමින් සිටි කාලයේදී තම පුද්ගලික ජීවිතයට ප්‍රමුඛ තාවය ලබා දෙමින්, විවිධාකාරයේ සාදයන් පවත්වමින් තම නාමය සහ දක්ෂතාවය වෙළඳ අවියක් කර විකුණමින් මුදල් උපයමින් විනෝදකාමීව කාලය ගෙවීම සිදු කලේ පාපන්දුව තම ජීවිතයෙන් පහළට ඇද දමමින්.

ආබාධ සුව කර ගනිමින් නැවත පාපන්දු පිටියට එනවා වෙනුවට ආබාධ සුව වන්නටත් මත්තෙන් සාද වෙත පියමං කරන්නට නේමාර් විසින් කටයුතු කිරීම දුකට කරුණක්. දැඩි විනය ගැටලු නිසා නේමාර්ගේ පාපන්දු දිවිය පහළටම ඇද වැටුණේ තම දේශය සහ රසිකයන් ඔහුගෙන් බලාපොරොත්තු වූ කිසිවක් ලබා දීමට අපොහොසත් වෙමින්.

බ්‍රසීලයේ මීළඟ පේලේ නේමාර් කියා බොහෝ දෙනා විශ්වාස කළා, පේලේට වඩා බොහෝ දුරක් නේමාර් ගමන් කරාවී කියා බොහෝ දෙනා විශ්වාස කලා. පේලේ, රොනල්ඩෝ, රොනාල්ඩීනෝ වැනි බ්‍රසීලයේ පුරාවෘත්ත පාපන්දු ලෝකය වර්ණවත් කල අන්දමට, බ්‍රසීලයේ නම පාපන්දූ ලෝකයේ වැජඹුණු ආකාරයටම, නේමාර් ද බ්‍රසීලය ඉදිරියට රැගෙන යාවී කියා බොහෝ දෙනෙක් විශ්වාස කළා. එහෙත් අවසාන ප්‍රතිඵලය වුනේ, නේමාර් බ්‍රසීලය සමඟ ලෝක කුසලානයක් හෝ කෝපා ඇමෙරිකා ශූරතාවයක්වත් නොමතිව හැඬූ කඳුලින් පාපන්දු පිටියෙන් නික්ම යෑමයි.

ඔලිම්පික් රන් පදක්කමක් සහ FIFA කන්ෆඩරේෂන් කුසලානයක් හැරෙන්නට නේමාර්ට බ්‍රසීලය සමඟ වෙනත් ජයග්‍රහණයක පහස ලබා ගන්නට නොහැකී වුණා. ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කුසලාන ප්‍රමාණයක් බ්‍රසීලය ජයග්‍රහණය කර තිබුණත්, 2014, 2018, 2022, 2026 ලෝක කුසලාන තරඟාවලි 04ක් නේමාර් ක්‍රීඩා කළත්, එම කාලය තුල බ්‍රසිලියානු කණ්ඩායම අවසන් මහා තරඟයක් දක්වා වත් රැගෙන යාමට නේමාර් ට හැකියාව ලැබුණේ නැහැ.

තම රටේ ප්‍රේක්ෂකයන්ගේ සහ ලෝකය පුරා විහිදී සිටින ඔහුට ආදරය කරන රසිකයන්ගේ බලාපොරොත්තු ඉටුකරන්න, සැම්බා රිද්මයෙන් පිටිය මැද නර්තනයේ යෙදෙන මේ කෝඩුකාරයාට හැකියාව ලැබුනේ නැහැ.

බ්‍රසීලය වෙනුවෙන් තරඟ 130ක් ක්‍රීඩා කර ඇති නේමාර් එහිදී ගෝල 80ක් සහ ගෝල සහය වීම් 59කට තම දායකත්වය ලබා දී තිබෙනවා. බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ගෝල ප්‍රමාණයක් ලබා ගත් ක්‍රීඩකයා වන්නේත් නේමාර්. ලෝක කුසලාන තරඟාවලි 04 තරඟ 15ක් ක්‍රීඩා කළ නේමාර් එහිදී ගෝල 09ක් සහ ගෝල ලබා ගැනීමට සහය වීම් 03ක් ලබා දී තිබෙනවා.

ක්‍රීඩා සමාජ පැතිකඩ ගත් විට බාසිලෝනා වෙනුවෙන් තරඟ 123කදී ගෝල 68ක් සහ ගෝල ලබා ගැනීම් 49කට දායක වී ඇති අතර, PSG කණ්ඩායම වෙනුවෙන් තරඟ 112කදී ගෝල 82ක් සහ ගෝල ලබා ගැනීමට සහය වීම් 52 කටත්, සැන්ටෝස් වෙනුවෙන් මේ වනවිට තරග 222කදී ගෝල 126ක් ලබාගැනීමටත් මේ හුරුබුහුටි ක්‍රීඩකයා සමත් වී තිබෙනවා. සමස්තයක් විදියට ගත් කළ 600කට අධික තරඟ ප්‍රමාණයක් ක්‍රීඩා කල නේමාර් තම ක්‍රීඩා දිවිය තුළ දැනට ගෝල 381ක් ලබාගෙන සිටිනවා.

තම ක්‍රීඩා දිවියෙන් අඩක් ආබාධ වලට ගොදුරු වෙමින්, අනෙක් පසින් විනය ගැටළු වලින් පිරුණු විනෝදකාමී ජීවිතයක් වෙත නැඹුරු නොවූවා නම් මේ සුපිරි ක්‍රීඩා තරුව කොහෙන් නවතීවිද?

මෙසී, රොනාල්ඩෝ වැනි විශිෂ්ට පුරාවෘත්තයන් සමඟ මුල් අවදියේ කරට කර සිටි මේ විශිෂ්ටයා මෙසී, රොනාල්ඩෝ මෙන් තම රටට, ක්‍රීඩාවට සහ විනයට ප්‍රමුඛ තැන ලබා දී කටයුතු කලානම් මොහුගේ ගමන කොහෙන් නවතින්නට ඉඩ තිබුනාද?

සම්මාන කීයක්, කුසලාන කීයක් නේමාර් ඩ සිල්වා සැන්ටෝස් ජූනියර් යන නාමය ඉදිරියේ ලියවෙන්නට තිබුනාද?

එහෙත් නේමාර් විසින් වෙනස් කරගත් දෛවය මෙයයි, ඔහුට පාපන්දු ලෝකයෙන් හිමි වෙන්නට තිබුණු, හිමි කරගන්නට තිබුණු බොහෝ දේ ඔහු විසින්ම අහිමි කරගැනීම දුකට කාරණයක්.

බ්‍රසීලයේ මෝගී දාස් කෲසෙස් නගරයෙන්, දුප්පත් කමේ ආගාධයෙන් පැමිණ, පාපන්දු ඉතිහාසයේ විශාලතම අලෙවිය දක්වා, තම සහජ දක්ෂතාවයෙන් ගමන් කල මේ බ්‍රසීලියානුවා ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගෙන යන්නේ, නිමා වුණ 2026 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් 16 දෙනාගේ තරඟ වටයේදී නෝර්වේ රාජ්‍ය හමුවේ ගෝල 2 – 1 ක අමිහිරි පරාජයක් අත් විඳ ගනිමින්. මෙම තරගයේදී බ්‍රසීලයෙන් වාර්තා වුන එකම ගෝලය දඬුවම් පහරකින් ලබාගත්තේ ත් නේමාර් වීම විශේෂ කරුණක්. ඒ කහ ජර්සිය පැලඳ නේමාර්ගේ පාදයෙන් බ්‍රසීලියානු ජාතික කණ්ඩායම වෙනුවෙන් එල්ල වූ අවසන් ගෝලයයි.

ලෝක කුසලානයක්, කෝපා ඇමෙරිකා ශූරතාවයක්, බැලන්ඩි’ඕ සම්මානයක්, මේ කිසිඳු ජයග්‍රහණයක් නොමැතිව, මීට වසර දහයකට පමණ පෙර මේ සියල්ල ජයග්‍රහණය කරාවී යයි විශ්වාස කරපු, සැම්බා රිද්මයෙන් ලොවක් කළඹවපු, බ්‍රසීලයේ කිරුළ හිමිව තිබූ කුමාරයා, මේ කිසිඳු ජයග්‍රහණයක්, ගෞරවයක් නොමැතිව අවාසනාවන්තව නික්ම යන්නේ, ඔහුට ලියැවී තිබුණු දෛවය ඔහු විසින්ම වෙනස් කර ගැනීම නිසාවෙන්.

කිරුළු නොපලන් කුමාරයා, නේමාර් ඩා සිල්වා සැන්ටෝස් ජූනියර්, ඔබට සුබ විශ්‍රාම දිවියක්!