“ලොකු ආසාවක් දැනුණා මේ වගේ ලස්සන ග්‍රවුන්ඩ් එකක දුවන එක ගැන” – ඉඳුනිල් හේරත්

240

පසුගිය දා ටර්ක්මෙනිස්තානයේ අශ්ගබාත් නුවර පැවති “7 වන ආසියානු ගෘහස්ථ සහ සටන් කලා ක්‍රීඩා උළෙලේ” දී, පිරිමි මීටර් 800 ඉසව්වට සහභාගී වෙමින් ඉඳුනිල් හේරත්  එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව තෙවරක් අලුත් කිරීමට සමත් විය.

රන් පදක්කම පෙනෙන මානයේ තිබුනත් අවාසනාවන්ත ලෙස අවසන් මොහොතේ දී කටාර් ක්‍රීඩකයා හමුවේ රිදී පදක්කමින් සෑහීමට පත්වීමට ඉඳුනිල්ට සිදු විය. තරගයේ ඔහු වාර්තා කළ මිනිත්තු 1:49.45 කාලය ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු මීටර් 800 ගෘහස්ථ තරගයක වාර්තා කර හොඳම කාලය සේ සඳහන් විය.

ආසියානු ගෘහස්ථ ක්‍රීඩා උළෙලට සහභාගී වූ කණ්ඩායම නැවතත් ශ්‍රී ලංකාව පැමිණීමට තිබුණේ මේ මස 27 වන දා නමුත්, 43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගී වීම පිණිස පෙරේදා (22) දිනයේ දී නැවතත් මෙරටට පැමිණි ඉඳුනිල්, ඊයේ (23) පැවති පිරිමි මීටර් 800 තරගයේ දී ඌව පළාත නියෝජනය කරමින් රන් පදක්කම දිනා ගත්තේ මිනිත්තු 1:52.42  කාලයක් වාර්තා කරමිනි.

Thepapare.com වෙත තම ආසියානු ජයග්‍රහණය පිළිබඳව ඉඳුනිල් දැක්වූයේ මෙවන් අදහසක්,

“ගොඩක් සතුටුයි ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාවට ගිය එක ගැන, ඇත්තටම මම රන් පදක්කම බලාපොරොත්තුවෙන් තරගයට සහභාගී වුනේ, නමුත් මට හිමි වුනේ රිදී පදක්කම. ඒත් මම ලොකු සෑහීමකට පත් වෙනවා ගෘහස්ථ තරගාවලියේ මීටර් 200 ධාවන පථයක මේ වගේ ටයිමින් එකක් වාර්තා කර ගැනීම ගැන.”

තරගාවලියෙන් ලද අත්දැකීම ගැන අදහස් දැක්වූ ඉඳුනිල්,

“ලොකු දෙයක් අපිට මේ වගේ තරගාවලියක් ලබා දීම ගැන, ආසියාවේ හොඳම ක්‍රීඩකයෝ සහභාගී වුනා. ඉතින් ඒවගේ තරගයකට සහභාගී වෙලා මීටර් 800 දෙවැනි ස්ථානය ලබා ගැනීම ගැන ගොඩක් සතුටු වෙනවා.”

ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වශයෙන් ගෘහස්ථ ක්‍රීඩාංගණයක තරග කිරීමේ දී මුහුණ පෑ අභියෝග ගැන අපි ඉඳුනිල්ගෙන් විමසුවෙමු.

“මට ලොකු පුරුදු නැති බවක් තිබ්බා, ඇත්තටම පළවෙනි දවසේ ග්‍රවුන්ඩ් එකට ගියාම ලොකු ආසාවක් දැනුණා මේ වගේ ලස්සන ග්‍රවුන්ඩ් එකක දුවන එක ගැන, මම හිතුව මම අනිවාර්යයෙන්ම ලංකාව වෙනුවෙන් දුවලා පදක්කමක් අරන් යනවාමයි කියලා, ඒ අධිෂ්ඨානය මත දිවුවා, මට ඉරාන් ක්‍රීඩකයා සහ කටාර් ක්‍රීඩකයා ලොකු අභියෝගයක් තියෙන බව දැන සිටියා නමුත් මගේ තරගය මම දිවුවා “

ගෘහස්ථ ක්‍රීඩාංගණයක මීටර් 200 ධාවන පතයක, මිටර් 800 ඉසව්ව සඳහා මිනිත්තු 1:49.45 කාලයක් වාර්තා කළ ඉඳුනිල් හට එළිමහන් මීටර් 400 ධාවන පතයක මිනිත්තු 1:47 වැනි විශිෂ්ට කාලයක් කරා යා හැකි බවයි විද්වතුන්ගේ අදහස. මීටර් 800 ගෘහස්ථ වාර්තාවට හිමිකම් කියන ඉඳුනිල් මීටර් 800 එළිමහන් වාර්තාව කරා යාමට බලාපොරොත්තු වන්නේ කෙදිනක දැයි ThePapare.com නැගූ පැනයට ඉඳුනිල් දුන්නේ මෙවන් පිළිතුරක්,

“ඉන්ඩෝර් ට්‍රැක් එකක (ගෘහස්ථ ධාවන පතයක) ඒ වගේ ටයිමින් එකක් දුවල ඇවිල්ලා අවුට්ඩොර් ට්‍රැක් එකක (එළිමහන් ධාවන පතයක) සියලු දෙනා සහ මගෙ පුහුණුකරු කියනවා අනිවාර්යයෙන් ශ්‍රී ලංකා වාර්තාව දුවනවා කියලා. ඒවගේම මම බලාපොරොත්තු වෙනවා ඉදිරියට එන ආමි මීට් එකේ දී ශ්‍රී ලංකා වාර්තාවකට දුවන්න.

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට