සංජනා කාවින්දි ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හමුවේ නැවතත් අසරණ වීමට බංග්ලාදේශයට සිදු වුණා. ඒ පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් තුන්කොන් තරගාවලියේ අද (8) පැවැති තරගයෙනුයි.
මීට පෙර බංග්ලාදේශය සමඟින් පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගන්නා ලද අතර අද පැවැති තරගයේ දී කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔවුන් සමත් වෙනවා.
අසේනි සහ සංජනා ගේ දක්ෂතා බංග්ලාදේශයට පරාජය ගෙන එයි
Faisalabad හී Iqbal ක්‍රීඩාංගණයේ දී නිමා වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 8ක් දැවී ලකුණු 126ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තවත් පන්දු 5ක් ද ඉතිරි කර ගනිමින් කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගන්නවා.
මෙම තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පෙර තරගය හා එක් වූ කණ්ඩායම ම එක් කර තිබූ අතර බංග්ලාදේශ කණ්ඩායම මෙම තරගය හා එක්වෙන්නේ වෙනස්කම් ද්විත්වයක් සිදු කරමින්. ඒ පෙර තරගය හා එක් වූ Bibi Ayesha සහ Sraboni Rani වෙනුවට Shirina Khatun සහ Kumari Srabonirani එක් කර ගනිමිනුයි.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම
චමුදි ප්‍රබෝදා (නායිකාව), සංජනා කාවින්දි (කඩුලු රකින්නිය), විමෝක්ෂා බාලසූරිය, නෙත්මි උපේක්ෂා, ලිමංසා තිලකරත්න, දනෝද්‍යා සෙව්මිණි, ශෂිනි ගිම්හානි, මනුදි නානායක්කාර, ප්‍රමුදි මෙත්සරා, චමෝදි හේරත් සහ අසේනි තලගුණේ.
බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම
Sadia Islam (නායිකාව), Achena Jannat (කඩුලු රකින්නිය), Mymuna Naher, Nishita Akter Nishi, Shirina Khatun, Sadia Akter, Farjana Easmin, Kumari Srabonirani, Tithi Das, Oddrita Nowshin සහ Afrin Mim
ජයග්‍රාහී ශ්‍රී ලංකා ඉනිම සාර්ථක ආරම්භයකින් යුතු වූයේ නැහැ. ඉනිමේ තෙවැනි පන්දුවාරයේ දී විමෝක්ෂා බාලසූරිය ලකුණු නොලබා ම දැවී යන අතර ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම දැක් වුණේ ලකුණු 14ක් ලෙසයි.
අනතුරු ව ආරම්භක පිතිකාරිනී සංජනා කාවින්දි ට එක් වූ නෙත්මි උපේක්ෂා 2 වැනි කඩුල්ලට පන්දු 35ක දී ලකුණු 42ක සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිමට ජවයක් ගෙන එනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ නෙත්මි උපේක්ෂා ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඇය පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 12ක් ලබා සිටියා.
ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 2 වැනි පන්දුවේ දී ලිමංසා තිලකරත්න ද ලකුණු නොලබා ම දැවී යෑම ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක අවාසියක් වූවා. නමුත් එතැන් සිට සිව් වැනි කඩුල්ලට පන්දු 57ක දී ලකුණු 60ක සබඳතාවක් එක් කිරීමට සංජනා කාවින්දි සහ දනෝද්‍යා සෙව්මිණි සමත් වීමත් සමඟින් තරගයේ වාසිය නැවත ශ්‍රී ලංකාව වෙත යා වුණා.
දනෝද්‍යා සෙව්මිණි පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 19ක් දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන අතර ශ්‍රී ලංකාව ජයග්රහණයෙන් තරගය අවසන් කරද්දී සංජනා කාවින්දි පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 90ක් ලබා සිටියා. ඇය තම අර්ධ ශතකය වාර්තා කිරීමට වැය කරන්නේ පන්දු 30ක් පමණයි.
ඇය පෙර බංග්ලාදේශය සමඟින් පැවැති තරගයේ දී ද ලකුණු 48ක් ලබා ගන්නවා.
තරගය අවසන් වෙද්දී ඇයත් සමඟින් අනෙක් අන්තයෙන් ක්‍රීඩා කරමින් සිටි ශෂිනි ගිම්හානි පන්දු 3කට මුහුණ දෙමින් නොදැවී ලකුණක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Tithi Das කඩුලු ද්විත්වයක් දවා ගත් අතර ඊට අමතර ව Farjana Easmin සහ Afrin Mim කඩුල්ල බැගින් දවා ගත්තා.
- චමුදිලා පාකිස්තානයට පරාජය වෙයි
- ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙසැම්බරයේ මෙරටට
- ශ්‍රී ලංකා කාන්තාවන්ට මෙවරත් රිදී පදක්කම
- අගෝස්තුවේ ICC ක්‍රීඩකයා “සොනාල් දිනූෂ”
- 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම පාකිස්තාන සංචාරයක
පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකාරිනී Achena Jannat අර්ධ ශතකයක් වාර්තා කරනවා. ඇය ඉනිමේ සිව් වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 50ක් ලබා සිටියා.
ඊට අමතර ව එම ඉනිම වෙනුවෙන් Shirina Khatun පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ද, Sadia Akter පන්දු 11ක දී හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 16ක් ද සහ Nishita Akter Nishi පන්දු 15ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී චමෝදි හේරත් සහ චමුදි ප්‍රබෝදා කඩුලු ද්විත්වය බැගින් බෙදා ගනිද්දී නෙත්මි උපේක්ෂා සහ දනෝද්‍යා සෙව්මිණි කඩුල්ල බැගින් බෙදා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 8ක් දැවී 126 (20.0) Achena Jannat 50, චමුදි ප්‍රබෝදා 2/18, චමෝදි හේරත් 2/14
- ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 4ක් දැවී 128 (19.1) සංජනා කාවින්දි නොදැවී 90, දනෝද්‍යා සෙව්මිණි 19, Tithi Das 2/25
පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
තරගයේ වීරයා – සංජනා කාවින්දි (ශ්‍රී ලංකාව)
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන 4 වැනි තරගය, පාකිස්තානය සමඟින් ඔක්තෝබර් 9 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් තුන්කොන් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















