චමුදිලා පාකිස්තානයට පරාජය වෙයි

Women’s U 19 T20 Tri-Series in Pakistan 2026

6

පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන කාන්තා යොවුන් තුන්කොන් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට තමන් මුහුණ දුන් පළමු තරගයෙන් කඩුලු 5ක පරාජයකට පත් වීමට සිදු වුණා. එම තරගයේ ප්‍රතිවාදීන් වූයේ සත්කාරක පාකිස්තානයයි.  

චමුදිලාට පාකිස්තානයේ තුන්කොන් තරගාවලියක්

Faisalabad හී Iqbal ක්‍රීඩාංගණයේ දී (3දා) පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කඩුලු 9ක් දැවී ලකුණු 124ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩිකාවෝ කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගන්නවා.  

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම 

චමුදි ප්‍රබෝදා (නායිකාව), සංජනා කාවින්දි, නෙත්මි උපේක්ෂා, විමෝක්ෂා බාලසූරිය, මනුදි නානායක්කාර, ශෂිනි ගිම්හානි, ලිමංසා තිලකරත්න, දනෝද්‍යා සෙව්මිණි, ප්‍රමුදි මෙත්සරා, නෙතගි ඉසුරාංජලී (කඩුලු රකින්නිය) සහ අසේනි තලගුණේ. 

 

පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම 

Fizza Fiaz (නායිකාව), Komal Khan, Ravail Farhan, Zoofishan Ayyaz (කඩුලු රකින්නිය), Aqsa Habib, Qamrosh Farhan, Shahar Bano, Mah Noor, Mahnoor Zeb, Memoona Khalid සහ Rozina Akram. 

ජයග්‍රාහී එම ඉනිමේ දී ආරම්භක දකුණත් පිතිකාරිනී Komal Khan අර්ධ ශතකයක් වාර්තා කරනවා. ඇය ඉනිමේ 2 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 50ක් ලබා සිටියා.  

ඇය එම ඉනිමේ දී Zoofishan Ayyaz සමඟ එක් වෙමින් 2 වැනි කඩුල්ලට පන්දු 61ක දී ලකුණු 74ක සබඳතාවක් ගොඩ නගනවා. Zoofishan Ayyaz ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 38ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී චමුදි ප්‍රබෝදා ලකුණු 22කට කඩුලු 2ක් ද සහ ලිමංසා තිලකරත්න ලකුණු 24කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව අසේනි තලගුණේ කඩුල්ලක් දවා ගත්තා.  

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නෙත්මි උපේක්ෂා. ඇය පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තා.  

ඇය එම ඉනිමේ දී විමෝක්ෂා බාලසූරිය සමඟින් එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් ද ගොඩ නගනවා. විමෝක්ෂා බාලසූරිය ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ලබා සිටියා.  

ඇය දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම කඩුලු 3කට ලකුණු 90ක් ලෙසින් දැක් වුණ අතර ඊට පසුව යැවුණ පන්දුවාර 4කට පසුව එය කඩුලු 8කට ලකුණු 108ක් බවට පත් වුණා. එහි දී ශෂිනි ගිම්හානි (2), මනුදි නානායක්කාර (14), ලිමංසා තිලකරත්න (0), දනෝද්‍යා සෙව්මිණි (3) සහ නෙතඟි ඉසුරාංජලි (0) ඊට ගොදුරු වෙනවා.  

ඉනිමේ අවසන් කඩුල්ලට දැවී ගිය ප්‍රමුදි මෙත්සරා පන්දු 13ක දී හයේ පහරක් සහ හතරේ පහරක් සමඟ ලකුණු 20ක් ලබා ගත්තා. 

කඩුලු දවා ගැනීමේ දී Mahnoor Zeb ලකුණු 18කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Memoona Khalid කඩුලු ද්විත්වයක් ද සහ Shahar Bano කඩුල්ලක් ද දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 9ක් දැවී 124 (20.0) නෙත්මි උපේක්ෂා 40, විමෝක්ෂා බාලසූරිය 26, ප්‍රමුදි මෙත්සරා 20, Mahnoor Zeb 3/18, Memoona Khalid 2/18
  • පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 5ක් දැවී 125 (19.0) Komal Khan 50, Zoofishan Ayyaz 38, චමුදි ප්‍රබෝදා 2/22, ලිමංසා තිලකරත්න 2/24

පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට කඩුලු 5ක ජයක්.  

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන 2 වැනි තරගය බංග්ලාදේශය සමඟින් ඔක්තෝබර් 5 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.  

වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් තුන්කොන් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<