ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ එක්දින ජාත්‍යන්තර තරගාවලිය 1-2ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු වූවා.
London හී Kennington Oval ක්‍රීඩාංගණයේ දී (27දා) පැවැති 3 වැනි සහ අවසන් එක්දින ජාත්‍යන්තර තරගය ආරම්භ වෙන්නේ දෙරට ක්‍රීඩකයෝ තරගාවලිය තරග 1-1ක් ලෙසින් සම තත්ත්වයේ සිටියදීයි. තීරණාත්මක එම තරගය නිමා වෙන්නේ එංගලන්තයට ලකුණු 223ක ජයග්‍රහණයක් හිමි වෙමින් වන අතර එය දෙරට එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ කණ්ඩායමක් විසින් වාර්තා කරන ලද වැඩිම ලකුණු පරතරයකින් යුත් ජයග්‍රහණය ද වූවා.
මෙම තරග සංචාරයේ මීට පෙර පැවැති විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලිය ද නිමා වෙන්නේ එංගලන්ත ක්‍රීඩකයන්ට 3-0ක ජයග්‍රහණයක් හිමි වෙමිනුයි.
එංගලන්තය 3-0කින් ජයග්‍රහණය සමරයි
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සත්කාරක එංගලන්ත ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 7ක් දැවී ලකුණු 355ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ තවත් පන්දු 125ක් ද ඉතිරිව තිබිය දී සියලුම දෙනා දැවී ලකුණු 132ක් පමණයි.
ශ්‍රී ලංකාව මෙම තරගයට පෙර ජයග්‍රාහී කණ්ඩායම ම එක් කර තිබූ අතර එංගලන්ත කණ්ඩායම මෙම තරගයේ දී වෙනස්කම් ත්‍රිත්වයක් සිදු කර තිබුණා. එහි දී එංගලන්ත කණ්ඩායමේ කඩුලු රැකි Jos Buttler වෙනුවට මෙම තරගයේ දී කඩුලු රැකීමේ වගකීම Jordan Cox පවරා තිබූ අතර ඊට අමතර ව Rehan Ahmed සහ Josh Tongue වෙනුවට Liam Dawson සහ Sonny Baker එක් කර තිබුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම
කුසල් මෙන්ඩිස් (නායක සහ කඩුලු රකින්නා), පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස්, පවන් රත්නායක, චරිත් අසලංක, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, සචිඳු කොළඹගේ, ඒශාන් මාලිංග, අසිත ප්‍රනාන්දු සහ ඩිල්ශාන් මදුශංක.
එංගලන්ත කණ්ඩායම
Harry Brook (නායක), Tom Banton, Ben Duckett, Joe Root, Jordan Cox (කඩුලු රකින්නා), Will Jacks, Jamie Overton, Liam Dawson, Gus Atkinson, Jofra Archer සහ Sonny Baker
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 6 දී දැවී ගිය ද 2 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 83ක දී ලකුණු 62ක සබඳතාවක් එක් කිරීමට Tom Banton සහ Joe Root සමත් වෙනවා. Joe Root ලකුණු 18කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යන අතර ඉන් අනතුරු ව පිටියට එක් වෙන්නේ නායක Harry Brook.
Harry Brook ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යන විට Tom Banton හා එක් ව පන්දු 117ක දී ලකුණු 150ක සබඳතාවක් එම කඩුල්ලට එක් කර තිබුණා. Harry Brook තමන් මුහුණ දුන් 49 වැනි පන්දුවේ දී තම එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 8 වැනි අර්ධ ශතකය වාර්තා කරන ලද අතර දැවී යන විට පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 77ක් ලබා සිටියා.
Tom Banton ඉනිමේ සිව් වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 126ක් ලබා සිටියා. එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ මංගල ශතකයයි.
ඔවුන්ට අමතර ව Jordan Cox ද තම එක්දින ජාත්‍යන්තර තරග දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා කිරීමට මෙම තරගයේ දී සමත් වුණා. ඔහු ඉනිමේ 6 වැනි කඩුල්ලට දැව යද්දී පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 76ක් ලබා සිටියා.
ඊට අමතර ව Will Jacks පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ද සහ Jamie Overton පන්දු 14ක දී හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 21ක් ද ලබා සිටියා.
එංගලන්ත කණ්ඩායම මෙම තරගයේ පන්දුවාර 30ක් අවසන් වෙද්දීත් ලබා සිටියේ ලකුණු 157ක් වන අතර ඔවුන් අවසන් පන්දුවාර 20 දී ලකුණු 198ක් ගොඩ නගමින් දෙරට තරග ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු අතර තෙවැනියට පත් ඉනිම වාර්තා කළා.
එම ඉනිමේ කඩුලු දවා ගැනීමේ දී අසිත ප්‍රනාන්දු ලකුණු 64කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව සචිඳු කොළඹගේ කඩුලු 2ක් ද, ජනිත් ලියනගේ සහ ඩිල්ශාන් මදුශංක කඩුල්ලක් ද බැගින් දවා ගත්තා.
- ශ්‍රී ලංකා කාන්තාවන්ට මෙවරත් රිදී පදක්කම
- චමුදිලාට පාකිස්තානයේ තුන්කොන් තරගාවලියක්
- අගෝස්තුවේ ICC ක්‍රීඩකයා “සොනාල් දිනූෂ”
- ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙසැම්බරයේ මෙරටට
- ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ මෙතෙක් ගමන් මග පිළිබඳ නිවේදනයක්
පන්දුවාරයකට 7.12ක දළ ලකුණු වේගයක් අවැසි පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 29.1ක දී සියලුම දෙනා දැවී යමින් ඉනිම අවසන් වෙද්දී ලබා සිටියේ 4.53ක දළ වේගයක් පමණයි.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක කුසල් මෙන්ඩිස්. ඔහු පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා.
ඔහු 2 වැනි කඩුල්ල වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් හා එක් ව පන්දු 32ක දී ලකුණු 35ක සබඳතාවක් එක් කරන අතර එය ශ්‍රී ලංකා ඉනිමේ ඉහළ ම ලකුණු සබඳතාව ද වූවා. ඉන් අනතුරු ව ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 20ක් ඉක්ම වූ කඩුලු සබඳතාවන් එක් වෙන්නේ ද්විත්වයක් පමණයි.
ඒ සිව් වැනි කඩුල්ල වෙනුවෙන් චරිත් අසලංක (7) සහ පවන් රත්නායක එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 36ක දී එක් කළ ලකුණු 24 සහ සචිඳු කොළඹගේ (4) සහ ජනිත් ලියනගේ එක් ව 7 වැනි කඩුල්ලට පන්දු 37ක දී එක් කළ ලකුණු 22ක සබඳතාවන් පමණයි.
අසාර්ථක ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ජනිත් ලියනගේ පන්දු 20ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 19ක් ද, පවන් රත්නායක පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ද, ඒශාන් මාලිංග පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 14ක් ද සහ කමිඳු මෙන්ඩිස් පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 12ක් ද ලබා ගත්තා.
අනෙක් සෑම පිතිකරුවෙක් ම තනි ඉලක්කමේ ලකුණුවලට සීමා වූ අතර කඩුලු දවා ගැනීමේ දී Liam Dawson ලකුණු 26කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Gus Atkinson කඩුලු 2ක් ද, Will Jacks, Jamie Overton, Joe Root සහ Sonny Baker කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- එංගලන්තය – කඩුලු 7ක් දැවී 355 (50.0) Tom Banton 126, Harry Brook 77, Jordan Cox 76, Will Jacks 25, Jamie Overton නොදැවී 21, අසිත ප්‍රනාන්දු 3/64, සචිඳු කොළඹගේ 2/71
- ශ්‍රී ලංකාව – සියලුම දෙනා දැවී 132 (29.1) කුසල් මෙන්ඩිස් 35, Gus Atkinson 2/26, Liam Dawson 3/26
එංගලන්ත කණ්ඩායමට ලකුණු 223ක ජයක්.
තරගයේ වීරයා – Tom Banton (එංගලන්තය)
තරගාවලියේ වීරයා – Will Jacks (එංගලන්තය)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















