17න් පහළ යොවුන් තරගාවලියේ අනාගත තරු

2
U 17 Sri Lanka Youth League Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පසුගියදා නිමා වෙන්නේ කොළඹ දකුණ ක්‍රීඩකයෝ අපරාජිත ව 2026 වසරේ ශූරයන් බවට පත් වෙමින්. අනුශූරතාව හිමි වෙන්නේ ගාල්ල කණ්ඩායමට.

>>කොළඹ දකුණ දැවැන්ත ජයග්‍රහණයක් සමඟින් යොවුන් ශූරතාව දිනා ගනි<<

අනුරාධපුරේ දී පැවැති මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 5ක් සහභාගී වූ අතර ඊට තරග 13ක් ඇතුලත් වූණා. එම තරගවල දී ශතක 4ක් සහ අර්ධ ශතක 30ක් සමඟින් ලකුණු 6038ක් තරගාවලියට එක් වූ අතර දැවී ගිය කඩුලු සංඛ්‍යාව 232ක්.

2026 වයස අවුරුදු 17න් පහළ යොවුන් තරගාවලියේ ගමන් මඟ
  ප්‍රතිඵලය ප්‍රතිවාදීන් ක්‍රීඩාංගණය
1 කොළඹ දකුණ කණ්ඩායමට කඩුලු 4ක ජයක්. කොළඹ උතුර සාලියපුර
2 ගාල්ල කණ්ඩායමට ලකුණු 66ක ජයක්. මහනුවර සමාධි
3 මහනුවර කණ්ඩායමට ලකුණු 66ක ජයක්. කොළඹ උතුර සාලියපුර
4 කොළඹ දකුණ කණ්ඩායමට ලකුණු 189ක ජයක්. දඹුල්ල සමාධි
5 කොළඹ දකුණ කණ්ඩායමට කඩුලු 4ක ජයක්. මහනුවර සමාධි
6 ගාල්ල කණ්ඩායමට ලකුණු 20ක ජයක්. දඹුල්ල සාලියපුර
7 ගාල්ල කණ්ඩායමට ලකුණු 12ක ජයක්. කොළඹ උතුර සමාධි
8 මහනුවර කණ්ඩායමට ලකුණු 133ක ජයක්. දඹුල්ල සාලියපුර
9 දඹුල්ල කණ්ඩායමට කඩුල්ලක ජයක්. දඹුල්ල සමාධි
10 කොළඹ දකුණ කණ්ඩායමට ලකුණු 45ක ජයක්. ගාල්ල සාලියපුර
  අවසන් පූර්ව තරගය
11 ගාල්ල කණ්ඩායමට කඩුල්ලක ජයක්. මහනුවර සාලියපුර
12 කොළඹ දකුණ කණ්ඩායමට ලකුණු 143ක ජයක්. දඹුල්ල සමාධි
  අවසාන මහා තරගය    
13 කොළඹ දකුණ කණ්ඩායමට ලකුණු 198ක ජයක්. ගාල්ල සමාධි

325 : මෙවර තරගාවලියේ වැඩිම ලකුණුලාභී කණ්ඩායම බවට පත් වෙන්නේ දඹුල්ල කණ්ඩායමයි. ඔවුන් එම ඉනිම ක්‍රීඩා කරන්නේ සමාධි ක්‍රීඩාංගණයේ දී කොළඹ දකුණ කණ්ඩායමට එරෙහිවයි.

99 : මෙවර තරගාවලියේ කණ්ඩායමක් දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාව වාර්තා කරන්නේ ගාල්ල කණ්ඩායමයි. ඔවුන් මෙම ඉනිම ක්‍රීඩා කරන්නේ කොළඹ දකුණ කණ්ඩායම සමඟින් සමාධි ක්‍රීඩාංගණයේදීයි.

198 Runs : මෙවර තරගාවලියේ කණ්ඩායමක්, ලකුණු මත ලබා ගත් ඉහළ ම ජයග්‍රහණය වාර්තා කරන්නේ, අවසන් මහා තරගයේ දී ගාල්ල කණ්ඩායමට එරෙහි ව සමාධි ක්‍රීඩාංගණයේ දී ලබා ගත් ජයග්‍රහණයයි.

302 : මෙවර තරගාවලියේ කණ්ඩායම් ද්විත්වයක් එක් ව වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වූයේ මහනුවර කණ්ඩායම (300/5) සහ කොළඹ දකුණ (301/6) කණ්ඩායම එක් ව සමාධී ක්‍රීඩාංගණයේ දී වාර්තා කරන ලද ලකුණු සංඛ්‍යාවයි.

තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා – ශෂිත් බණ්ඩාර (මහනුවර කණ්ඩායම)

 U 17 Sri Lanka Youth League Tournament 2026

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ශෂිත් බණ්ඩාර මෙවර තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙසින් සම්මානයට පත් වෙනවා. ඒ වෙනුවෙන් ඔහු දකුණත් පිතිකරුවෙක් ලෙසින් තරග 5ක ඉනිම් 5ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 212ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී කඩුලු 12ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

දකුණතින් පිත්ත හසුරුවන ශෂිත් බණ්ඩාර ගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ කොළඹ දකුණ කණ්ඩායමට එරෙහි ව පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගත් ලකුණු 77යි. ඊට අමතර ව කොළඹ උතුර කණ්ඩායමට එරෙහි ව ලකුණු 47ක් ලබා ගනිමින් අර්ධ ශතකයකට ආසන්න ඉනිමක් ද ක්‍රීඩා කරනවා.

මෙවර තරගාවලියේ ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාවට, තරගාවලියේ පිතිකරුවන් ලබා ගත් ලකුණු අතර හිමි වූයේ 6 වැනි ස්ථානයයි.

දකුණතින් පිට දඟ පන්දු යවන ශෂිත් බණ්ඩාර මෙවර තරගාවලියේ පන්දු යවන්නෙක් ලෙසින් පෑ දක්ෂතා අතර කඩුලු 5ක් බැගින් අවස්ථා 2ක දී ලබා ගැනීමට සමත් වීම කාගේත් අවධානයට ලක් වුණා. එවන් දක්ෂතාවක් කළ තරගාවලියේ එක ම පන්දු යවන්නා ද වූයේ ඔහුයි.

එහි දී ඔහු කොළඹ උතුර කණ්ඩායමට එරෙහි ව පන්දු වාර 9ක් යවමින් ලකුණු 22කට කඩුලු 5ක් ද සහ දඹුල්ල කණ්ඩායමට එරෙහි ව පන්දු වාර 8.4ක් යවමින් ලකුණු 11කට කඩුලු 5ක් ද දවා ගන්නවා. දඹුල්ල කණ්ඩායමට එරෙහි ව පෑ මෙම දක්ෂතාව මෙවර තරගාවලියේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වුණා.

ඔහු පන්දු යවන්නෙක් ලෙසින් පෑ මෙම දක්ෂතාව මෙවර තරගාවලියේ පන්දු යවන්නන් ලැයිස්තු ගත කිරීමේ දී සිව් වැනි ස්ථානයට ලැයිස්තු ගත වුණා.

තරගාවලියේ දක්ෂතම පිතිකරු – සඳරු මල්ශාන් (ගාල්ල කණ්ඩායම)

 U 17 Sri Lanka Youth League Tournament 2026

රත්ගම දේවපතිරාජ විද්‍යාලය නියෝජනය කරන සඳරු මල්ශාන් මෙවර තරගාවලියේ දක්ෂතම පිතිකරු බවට පත් වෙන්නේ තරග 6ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලබා ගත් ලකුණු 308 හේතුවෙනුයි.

එමෙන් ම ඔහු මෙවර තරගාවලියේ එක් ඉනිමක දී වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට ද පත් වුණා. ඔහු එම දක්ෂතාව සිදු කරන්නේ කොළඹ උතුර කණ්ඩායමට එරෙහිවයි. එහි දී ඔහු පන්දු 100කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 115ක් ලබා ගන්නවා.

ඊට අමතර ව ඔහු තරගාවලියේ ආරම්භක තරගයේ දී ම මහනුවර කණ්ඩායමට එරෙහි ව පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 97ක ශතකයකට ආසන්න ලකුණු ලබා ගත්තා.

සඳරු මල්ශාන්, පෙර මාසයේ දී නිමා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ වයස අවුරුදු 23න් පහළ අන්තර් ක්‍රීඩා සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ දී තරගාවලියේ වීරයා බවට ද පත් වීමට සමත් වුණා.

Moors SC කණ්ඩායම නියෝජනය කළ ඔහු එම තරගාවලියේ දී තරග 8ක ඉනිම් 10ක දී අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 277ක් ද සහ කඩුලු 36ක් ද දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 5 දෙනා
  Player Team Mat Inns NO Runs HS Ave 100 50
1 ස්ටෙවොන් පීරිස් කොළඹ දකුණ 6 6 0 365 86 60.83 0 4
2 සඳරු මල්ශාන් ගාල්ල 6 6 0 308 115 51.33 1 1
3 රෙශාන් සොලමන්ස් කොළඹ දකුණ 6 6 0 258 87 43.00 0 2
4 යෙනුල හේවාවිතාරණ මහනුවර 5 5 0 236 110 47.20 1 0
5 මෙතුක ගුණරත්න කොළඹ දකුණ 6 6 0 230 67 38.33 0 2

මෙවර තරගාවලියේ දී සඳරු මල්ශාන් ලබා ගත් ශතකයට අමතර තවත් ශතක 3ක් තරගාවලියට එක් වුණා.

එහි දී මහනුවර කණ්ඩායමේ යෙනුල හේවාවිතාරණ,ගාල්ල කණ්ඩායමට එරෙහි ව පන්දු 130ක දී හතරේ පහර 14ක් සමඟන් ලකුණු 110ක් ද, කොළඹ දකුණ කණ්ඩායමේ චෙනුක දොඩංගොඩ, දඹුල්ල කණ්ඩායමට එරෙහි ව පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 109ක් ද සහ කොළඹ දකුණ කණ්ඩායමේ ම දුශේන් උඩවෙල දඹුල්ල කණ්ඩායමට ම එරෙහි පන්දු 127කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 106ක් ද වාර්තා කළා.

තරගාවලියේ වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයා වෙන්නේ කොළඹ දකුණ කණ්ඩායමේ ස්ටෙවෝන් පීරිස්. ඔහු තරගාවලියේ දී ලබා ගත් මුළු හතරේ පහර සංඛ්‍යාව 40ක්.

ඊට අමතර ව කොළඹ දකුණ කණ්ඩායමේ රෙශාන් සොලමන්ස් හතරේ පහර 36ක් සහ ගාල්ල කණ්ඩායමේ සඳරු මල්ශාන් හතරේ පහර 35ක් ලබා ගනිමින් වැඩිම හතරේ පහර ලබා ගත් පිතිකරු ලැයිස්තුවේ පිළිවෙලින් අසුන් හිමිකර ගත්තා.

තරගාවලියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩකයා බවට පත් වෙන්නේ ගාල්ල කණ්ඩායමේ රවීන් සචින්ත. ඔහු එල්ල කළ හයේ පහර සංඛ්‍යාව 7ක්. ඊට අමතර ව මෙතුක ගුණරත්න සහ කලිඳු සචින්තන හයේ පහර 5ක් බැගින් එල්ල කරමින් මෙම ලැයිස්තුව සැරසුවා.

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – අදීශ ලක්ශාන් (කොළඹ දකුණ කණ්ඩායම)

 U 17 Sri Lanka Youth League Tournament 2026

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා බවට පත් වෙන්නේ දකුණතින් මඳ වේග පන්දු යැවූ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය නියෝජනය කළ  අදීශ ලක්ෂාන්. ඔහු තරගාවලිය නිමා කරද්දී තරග 5ක දී කඩුලු 13ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

ඔහුගේ පන්දු යැවීම් අතර ඉහළ ම දක්ෂතාව බවට පත් වූයේ දඹුල්ල කණ්ඩායමට එරෙහි ව ලකුණු 31කට දවා ගත් කඩුලු 4යි.

තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දුයවන්නන් 5 දෙනා
  Player Team M Over Runs Wkts Best 4w 5w
1 චෙනුල් මින්ලක ගාල්ල 6 50.1 226 14 4/16 1 0
2 අදීශ ලක්ශාන් කොළඹ දකුණ 5 33.0 142 13 4/31 2 0
3 රවීන් සචින්ත ගාල්ල 6 47.0 379 13 3/35 0 0
4 ශෂිත් බණ්ඩාර මහනුවර 5 44.4 182 12 5/11 0 2
5 උදයකුමාර් ශෙනෝන් දඹුල්ල 4 30.0 156 10 4/51 1 0

අවසන් මහා තරගයේ වීරයා – රෙශාන් සොලමන්ස් (කොළඹ දකුණ කණ්ඩායම)

 U 17 Sri Lanka Youth League Tournament 2026

බම්බලපිටිය සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම නියෝජනය කරන රෙශාන් සොලමන්ස් මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේ දී වීරයා බවට පත් වෙන්නේ ගාල්ල සමඟින් පැවැති එම තරගයේ දී පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 87ක් ලබා ගනිමින් පෑ දක්ෂතාත් සමඟිනුයි.

ඊට අමතර ව ඔහු නායක ස්ටෙවෝන් පීරීස් හා එක් ව 4 වැනි කඩුල්ල සඳහා පන්දු 128ක දී ලකුණු 132ක සබඳතාවක් ද ගොඩ නගනවා.

එම ඉනිමට අමතර ව රෙශාන් සොලමන්ස් මෙවර තරගාවලියේ නිමා කරන්නේ ඉනිම 6ක දී අර්ධ ශතක ද්විත්වයක් ද සමඟින් ලකුණු 258ක් ද ලබා ගනිමිනුයි. ඒ අතර ඔහුගේ හොඳම ඉනිම බවට පත් වූයේ ගාල්ල සමඟ පැවැති අවසන් මහා තරගයේ දී පෑ දක්ෂතා වූ අතර ඊට අමතර ව ඔහු කොළඹ උතුර කණ්ඩායමට එරෙහි ව ද අර්ධ ශතකයක් ලබා ගන්නවා. එහි දී ඔහු පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 63ක් ලබා ගත්තා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<