ගාල්ල සහ කොළඹ දකුණ අනුරාධපුරයේ දී හමුවෙන අවසන් තරගය

U 17 Sri Lanka Youth League Tournament 2026

2
U 17 Sri Lanka Youth League Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (29) අනුරාධපුර සමාධී ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි.

පැවැති අවසන් පූර්ව වටයේ දී ගාල්ල කණ්ඩායම මහනුවර කණ්ඩායමට එරෙහි ව ජයග්‍රහණය කරමින් ද සහ කොළඹ දකුණ කණ්ඩායම දඹුල්ල කණ්ඩායම පරාජය කරමින් ද මෙම අවස්ථාවට සුදුසුකම් ලබා ගත්තා.

කොළඹ දකුණ කණ්ඩායම මෙම තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නේ තරගාවලියේ අපරාජිත එක ම කණ්ඩායම වීම විශේෂත්වයක් වන අතර ඔවුන් වෙතින් ගාල්ල ක්‍රීඩකයෝ ද පරාජයට පත් වූවා.

ගාල්ල කණ්ඩායම සඳරු මල්ශාන් විසින් ද සහ කොළඹ දකුණ කණ්ඩායම ස්ටෙවෝන් පීරිස් විසින් ද මෙහෙයවමින් මෙම තරගයට එක් වීමට නියමිතයි.

>>ගාල්ල සහ කොළඹ දකුණ අවසන් මහා තරගයට අසුන් වෙන්කර ගනී

ගාල්ල වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම

මෙම කණ්ඩායමේ වඩාත් විශ්වසනීය ම ක්‍රීඩකයා වී ඇත්තේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන නායක සඳරු මල්ශාන්. ඔහු නිමා වූ තරග 5 දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 308ක් ලබා සිටිනවා. එය මෙවර තරගාවලියේ පිතිකරුවෙක් විසින් ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

එමෙන් ම මෙවර තරගාවලියේ එක ම ශතකලාභියා වෙන්නේ ද ඔහුයි. පිතිකරුවෙක්ට අමතර ව ඔහු පන්දු යැවීමේ දී කඩුලු 4ක් දවා ගනිමින් ද දක්ෂතා දැක් වූවා.

ඔහුට අමතර ව තරග 5ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 151ක් සහ කඩුලු 4ක් දවා ගත් ගෙසඳු බිසස් සහ තරග 5ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 130ක් සහ කඩුලු 4ක් දවා ගෙන සිටින මානිත රාජපක්ෂ ද ගාලු කණ්ඩායම සතු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් සැලකෙනවා.

ඔවුන්ට අමතර ව තරග 5ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 161ක් ලබා ගත් ලසිරු ලක්දිනු ද කණ්ඩායම හා එක් ව සිටින දක්ෂ පිතිකරුවෙක්.

ඊට අමතර ව කණ්ඩායමේ සිටින අනෙක් අර්ධ ශතකලාභින් වන යොමිරු සස්වින් සහ හිරුන් මතීෂ ද විශ්වසනීය පිතිකරුවන් ලෙසින් වර්ගීකරණයට ලක් ව සිටිනවා.

කඩුලු දවා ගැනීමේ දී කණ්ඩායමේ සිටින වැඩිම කඩුලුලාභියා වෙන්නේ චෙනුල් මින්ලක. ඔහු තරග 5ක දී කඩුලු 12ක් දවා ගෙන තිබෙන අතර ඊට අමතර ව රවීන් සචින්ත කඩුලු 11ක් දවා ගනිමින් කණ්ඩායමේ සිටින විශ්වසනීය පන්දු යවන්නන් බවට පත් ව සිටිනවා.

ගාල්ල වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම් සංචිතය

 

සඳරු මල්ශාන් (නායක), හිරුන් මතීශ, ලසිර ලක්දිනු, විමුක්ති හේරත්, ගෙසඳු බිසස්, මානිත රාජපක්ෂ, යොමිරු සස්වින් (කඩුලු රකින්නා), ලිනුවර සත්විඳු, චෙනුල් මින්ලක, රවීන් සචින්ත, ගයුක කවිශ්ක, ගයුක කවිශ්ක, තරුන් වීරසිංහ, තියෝන් හේලික, විනුද රවිශාන් සහ නිසිත් තේජව.

කොළඹ දකුණ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම

කොළඹ දකුණ කණ්ඩායමේ විශ්වසනීය ම ක්‍රීඩකයා බවට පත් ව ඇත්තේ නායක ස්ටෙවෝන් පීරිස්. ඔහු නිමා වූ තරග 5 දී අර්ධ ශතක ත්‍රිත්වයක් සමඟින් ලකුණු 288ක් ලබා සිටිනවා.

ඊට අමතර ව මෙතුක ගුණරත්න අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 204ක් ද, චෙනුක දොඩංගොඩ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 197ක් ද, දුශේන් උඩවෙල ලකුණු 196ක් ද සහ රෙශාන් සොලමන් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 171ක් ද ලබා ගනිමින් පිතිකරුවන් ලෙසින් ඉදිරියෙන් ම සිටිනවා.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයන් අතුරින් වඩාත් කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් ව ඇත්තේ මහිරු කොඩිතුවක්කු. ඔහු තරග 5ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 120ක් ද සහ කඩුලු 7ක් ද දවා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.

පන්දු යැවීමේ දී කණ්ඩායමේ සිටින වැඩිම අවදානයට ලක් ව සිටින ක්‍රීඩකයා වෙන්නේ අදීශ ලක්ෂාන්. ඔහු තරග 4කින් ලබා සිටින කඩුලු සංඛ්‍යාව 11ක්. ඊට අමතර ව මෙතුක ප්‍රනාන්දු කඩුලු 6ක් දවා ගනිමින් ද, සනුග දුල්මික සහ තාරුක සමින්ජිත කඩුලු 4ක් බැගින් ද දවා ගනිමින් විශ්වසනීය පන්දු යවන්නන් බවට පත් ව සිටිනවා.

කොළඹ දකුණ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම් සංචිතය

 

ස්ටෙවෝන් පීරිස් (නායක සහ කඩුලු රකින්නා), මෙතුක ගුණරත්න, මියුරු බණ්ඩාර, දුශේන් උඩවෙල, රෙශාන් සොලමන්ස්, චෙනුක දොඩංගොඩ, සනුග දුල්මික, මහිරු කොඩිතුවක්කු, අදීශ ලක්ශාන්, තාරුක සමින්ජිත, මෙතුක ප්‍රනාන්දු, ගගන් ගමගේ, රනුද රණසිංහ, සශිදු සිල්වා, නෙතුශ ප්‍රනාන්දු සහ පතිව් වෙහාන්,

වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<