සංචාරක නවසීලන්ත කාන්තා A කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම අතර අද (21) ආරම්භ වූ තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම් ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කාන්තා A කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 129ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම කඩුලු 7ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා.
ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම
සත්‍යා සංදීපනී (නායිකාව), සංජනා කාවින්දි, විශ්මි ගුණරත්න, විමෝක්ෂා බාලසූරිය, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), දෙව්මි විහංඟා, පියුමි වත්සලා, රශ්මිකා සෙව්වන්දි, ශෂිනි ගිම්හානි, සචිනි නිසංසලා සහ චමුදි ප්‍රබෝධා.
නවසීලන්ත කාන්තා A කණ්ඩායම
Jess Watkin (නායක), Bella James, Tash Wakelin, Bella Armstrong, Prue Catton, JA Watkins, Hannah Rowe, Kate Gaging, Darcy Prasad (කඩුලු රකින්නිය), Kayley Knight සහ Emma Black.
කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත කාන්තා A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර එම ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 25ක් වෙද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වෙනවා.
එලෙසින් අසාර්ථක ව ආරම්භ වූ එම ඉනිමට වැඩිම ලකුණු එක් කරන්නේ පසු පෙළින් පිටියට පිවිසි Kate Gaging. අංක 8 පිතිකාරිනිය ලෙසින් පිටියට පිවිසි ඇය නවසීලන්ත ඉනිම අවසන් වන විට පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණ 35ක් ලබා සිටියා.
ඇයත් සමඟින් අනෙක් අන්තයේ සිටි Hannah Rowe (නොදැවී 10) හා එක් ව 7 වැනි කඩුල්ලට පන්දු 38ක දී නොදැවුණ ලකුණු 49ක සබඳතාවක් ද ගොඩ නැගීමට ඇය සමත් වෙනවා.
ඊට අමතර ව Prue Catton පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ද සහ JA Watkins පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 20ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී සචිනි නිසංසලා, සත්‍යා සංදීපනී සහ චමුදි ප්‍රබෝධා කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
- නවසීලන්ත කාන්තා A කණ්ඩායමට එරෙහි T20 තරගාවලියේ නායකත්වයත් සත්‍යා ට
- 2026 LPL තරග කාලසටහන ප්‍රකාශයට පත් කරයි
- නවසීලන්ත A ක්‍රීඩිකාවෝ තරගාවලිය ජය ගනී
- Pride of Galle විසඳුමක් නෑ
- දඹුලු ක්‍රීඩකයෝ නැවතත් NSL ශූරතාව දිනා ගනී
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා A කණ්ඩායම් ක්‍රීඩිකාවන්ට ද සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ. ආරම්භක පිතිකාරිනී සංජනා කාවින්දි ලකුණු 8කට ද සහ විමෝක්ෂා බාලසූරිය ලකුණු 7කට දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම දැක් වුණේ කඩුලු 2ක් දැවී ලකුණු 24ක් ලෙසයි.
අනතුරු ව 3 වැනි කඩුල්ලට පන්දු 30ක දී ලකුණු 30ක සබඳතාවක් එක් කරන්නට ආරම්භක පිතිකාරිනී විශ්මි ගුණරත්න සහ නායිකා සත්‍යා සංදීපනී සමත් වෙනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ සත්‍යා සංදීපනීගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඇයගේ ලකුණු ද තනි ලකුණකට (9) සීමා වී තිබුණා.
ඇය ගේ දැවී යෑමත් සමඟින් යැවුණ 2 වැනි පන්දුවේ දී විශ්මි ගුණරත්න ද ඉනිම හැර යනවා. ඇය දෑවී යන විට පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 27ක් ලබා සිටියා.
ඉන් අනතුරු ව දෙව්මි විහංගා ලකුණු 14කට සහ සුමුදු නිසංසලා ලකුණු 7කට දැවී යන අතර ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිමේ දැක් වුණේ කඩුලු 6කට ලකුණු 79ක් ලෙසයි. එම අවස්ථාවේ දී ශ්‍රී ලංකා ඉනිමට පන්දු 25ක දී ලකුණු 39ක සබඳතාවක් එක් කිරීම පියුමි වත්සලා සහ රශ්මිකා සෙව්වන්දි සමත් වෙනවා.
රශ්මිකා සෙව්වන්දි පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.
ශ්‍රී ලංකා A කණ්ඩායම් ක්‍රීඩිකාවෝ තවත් පන්දු 3ක් ඉතිරි කර ගනිමින් තරගය ජයග්‍රහණය කරද්දී පියුමි වත්සලා පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 21ක් ද සහ ශෂිනි ගිම්හානි පන්දු 2ක දී හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 7ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Hannah Rowe සහ Kayley Knight කඩුලු ද්විත්වය බැගින් දවා ගනිද්දී Emma Black, Jess Watkin සහ Bella Armstrong කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
නවසීලන්ත කාන්තා A කණ්ඩායම – කඩුලු 6ක් දැවී 129 (20.0) Prue Catton 25, JA Watkins 20, Kate Gaging නොදැවී 35, චමුදි ප්‍රබෝධා 2/28, සත්‍යා සංදීපනී 2/12, සචිනි නිසංසලා 2/12
ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම – කඩුලු 7ක් දැවී 131 (19.3) විශ්මි ගුණරත්න 27, පියුමි වත්සලා නොදැවී 21, රශ්මිකා සෙව්වන්දි 26, Hannah Rowe 2/22, Kayley Knight 2/27
ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායමට කඩුලු 3ක ජයක්.
දෙරට කණ්ඩායම් අතර පැවැත්වෙන 2 වැනි විස්සයි විස්ස තරගය මේ මස 23 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලියේ උණුසුම් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















