Stoinis සහ Pooran හයිද්‍රාබාද් රසිකයින් වේලාසනින් ගෙදර යවයි!

IPL 2023

3962

2023 IPL තරගාවලියේ තරගකාරී ස්වභාවය තවත් තියුණු කරවමින් Lucknow Super Giants සහ Sunrisers Hyderabad කණ්ඩායම් අතර අද (13) පැවැත්වුණු තරගයෙන් කඩුලු 7ක අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට Lucknow Super Giants සමත් වුනා.

මෙවර තරගාවලියේ 58 වැනි තරගය ලෙස හයිද්‍රාබාද් හිදි ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහට දීමට හයිද්‍රාබාද් නායක Adien Markram තීරණය කළ අතර, එහි අවසන් ප්‍රතිඵලය ලෙස නියමිත පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබා ගැනීමට හයිද්‍රාබාද් පිතිකරුවන් සමත් වුනා.

මෙහි දී Abhishek Sharmaගේ ඉක්මන් දැවී යාම නිසා හයිද්‍රාබාද් ආරම්භය බලාපොරොත්තු වූ තරම් සාර්ථක නොවූ නමුත් එතැන් පටන් හයිද්‍රාබාදය වෙනුවෙන් පිතිකරණයට පිවිසි Anmolpreet Singh, Rahul Tripathi සහ Adien Markram විසින් ලකුණු පුවරුව ඉහළ නැංවීමට සිය දායකත්වය ලබා දුන්නා.

නමුත් එම ඉනිමේ 13 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ ලක්නව් නායක Kurnal Pandya විසින් පිට පිට ම යොමු කළ පන්දු දෙකකින් Adien Markramගේ සහ Glenn Phillipsගේ කඩුලු දවා ගැනීමට සමත් වීමෙන් හයිද්‍රාබාද් ඉනිම යම් කඩා වැටීමකට ලක්වුනා.

කෙසේ වෙතත් එතැන් පටන් පිටියේ එක් වූ Abdul Samad සහ Heinrich Klaasen විසින් නැවතත් කෙමෙන් ඉනිම ගොඩ නංවමින් වේගයෙන් ලකුණු කරා යෑමට උත්සාහ කළ අතර ඔවුන් දෙදෙනාගේ සබඳතාව පන්දු 40ක් පුරාවට ඇදී ගියා. ඒ කාලය අතරතුර ඔවුන් විසින් ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක් එක් කිරීමට සමත් වූ අතර පන්දු 29කින් ලකුණු 47ක් ලබා සිටි Klaasenගේ දැවී යාමෙන් එම සබඳතාවේ නිමාව සටහන් වුනා.

නමුත් ඉනිම අවසන් වන තුරු කඩුල්ලේ රැඳී සිටීමට සමත් වූ Abdul Samad විසින් පන්දු 25කින් ලකුණු 37ක් ලබා ගැනීමට සමත් වීමත් සමඟින් හයිද්‍රාබාද් ඉනිම ලකුණු 182ක් කරා ඉහළට නැගුණා.

මෙහි දී ලක්නව් වෙනුවෙන් අතිශය සාර්ථක පන්දු යැවීමක නිරත වීමට සමත් වූ Kurnal Pandya විසින් සිය පන්දුවාර 4 තුල දී ලකුණු 24ක් පමණක් ලබා දෙමින් ප්‍රතිවාදී කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

විශේෂයෙන්ම Avesh Khan විසින් යොමු කළ හයිද්‍රාබාද් ඉනිමේ 19 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුව පිටියේ විනිසුරු විසින් නිපන්දුවක් ලෙස සටහන් කළ නමුත්, පසුව ලක්නව් නායකයා විසින් එම විනිසුරු තීරණයට අභියෝග කළා. එහි අවසන් ප්‍රතිඵලය වුනේ එය නිපන්දුවක් නොවන බව තෙවන විනිසුරු විසින් සටහන් කිරීමයි.

මෙය තරමක් මතභේදයට තුඩු දෙන තීරණයක් බව ඒ මොහොතේ තරග විස්තර විචාරයේ යෙදී විස්තර විචාරකයින් මෙන් ම හයිද්‍රාබාද් පිතිකරුවන් සහ ප්‍රේක්ෂකයින් ද දැක්වූ ප්‍රතිචාර අනුව පෙනී ගියා.

කෙසේ හෝ හයිද්‍රාබාද් කණ්ඩායම විසින් ලබා දුන් ලකුණු 183ක ඉලක්කය හඹා යාම වෙනුවෙන් ලක්නව් ආරම්භක පිතිකරු යුගලය පසුව පිටියට පිවිසුණු අතර ඔවුන්ගේ සුපුරුදු ආරම්භක පිතිකරුවා Kyle Mayersට අද දිනයේ නම් බලාපොරොත්තු වූ තරම් දක්ෂතාවක් පෙන්වීමට හැකියාව ලැබුණේ නැහැ.

Mayersගේ ඉනිම ලකුණු 2කට සීමා වූ නමුත්, එතැන් පටන් ලක්නව් අනෙක් ආරම්භ පිතිකරු Quinton de Kock සමඟ පිටියේ එක් වූ Prerak Mankad විසින් ඉනිමට ශක්තිමත් අඩිතාලමක් යෙදීමට සමත් වූ අතර, De Kockගේ ඉනිම ලකුණු 29කට නිමා කිරීමට Mayank Markande විසින් සමත් වුනා.

ඉන්පසුව පිටියට පිවිසුණු Marcus Stoinis විසින් Mankad සමඟ ලකුණු 73ක සාර්ථක සබඳතාවක් පැවැත්වීමට සමත් වූ අතර ඉනිමේ 16 වැනි පන්දුවාරය යොමු කළ Abhishek Sharma විසින් Stoinisව දවා ගැනීමත් සමඟ එම සබඳතාව නිමා වුනා. ඒ වන විට Stoinis විසින් පන්දු 25කින් ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වී තිබුණා.

නමුත් Abhishek විසින් යොමු කළ මෙම 16 වැනි පන්දුවාරය තරගයේ දිශානතිය සම්පූර්ණයෙන්ම වෙනස් කළ එකක් ලෙස හඳුන්වා දිය හැකියි.

මෙම පන්දුවාරය ආරම්භ වීමට පෙර ලක්නව් ඉනිම කඩුලු 2කට ලකුණු 114ක් ලෙස සටහන් වී තිබූ අතර, ඒ වන විට ලක්නව් කණ්ඩායම තරගය ජයග්‍රහණය කිරීමට නම් පන්දු 30කින් ලකුණු 69ක් ලබා ගත යුතු ව තිබුණා.

නමුත් මෙම පන්දුවාරයේ පළමු පන්දු දෙකට දැවැන්ත හයේ පහර දෙකක් එල්ල කිරීමට Stoinis සමත් වූ අතර (මේ පන්දු දෙක අතරවාරයේ වයිඩ් පන්දුවක් ද අමතරව යොමු කළා) තෙවැනි පන්දුවට තවත් හයේ පහරක් එල්ල කිරීමට ගත් උත්සාහයේ දී Stoinisගේ ඉනිම නිමා වුනා.

නමුත් Stoinisගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසුණු Nicholas Pooran විසින් එම පන්දුවාරයේ ඉතිරි වී තිබූ පන්දු තුනට තවත් හයේ පහර තුනක් එල්ල කිරීමට සමත් වූ අතර, අවසානයේ Abhishek Sharma විසින් යොමු කළ එම පන්දුවාරය තුල එක් කඩුල්ලක් ලබා ගනිමින් ලකුණු 31ක් ලක්නව් වෙත පූජා කර තිබුණා.

එතැන් පටන් ලක්නව් කණ්ඩායමට ලබා ගත යුතු ව තිබූ ඉලක්කය ඉතාමත් පහසු එකක් බවට පත් කිරීමට Pooran විසින් සමත් වුනේ පන්දු 13ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වීමත් සමඟයි. එමෙන් ම මෙම ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් ද අන්තර්ගත වුනා.

මීට අමතරව Mayersගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි Mankad විසින් ලක්නව් ඉනිමේ අවසානය වන තෙක් ම නොදැවී කඩුල්ලෙ රැඳී සිටීමට සමත් වෙමින් පන්දු 45කින් ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙම තරගයේ සත්කාරකත්වය හයිද්‍රාබාද් කණ්ඩායම විසින් දැරූ නිසා ම හයිද්‍රාබාද් රසිකයින්ගෙන් ක්‍රීඩාංගණය පිරී ඉතිරී තිබූ නමුත්, ලක්නව් ඉනිමේ අවසන් භාගය වන විට ඔවුන් බොහෝ දෙනා බලාපොරොත්තු සුන් වූ මුහුණ වලින් යුතු ව ක්‍රීඩා පිටියෙන් ඉවත් ව යන ආකාරය ද කැමරා කාචවල සටහන් වී තිබුණා.

ඒ අනුව පන්දුවාර 19 පන්දු 2ක් තුල කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 185ක් ලබා ගැනීමට සමත් වූ Lucknow Super Giants මෙම තරගය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, එම ජයග්‍රහණයත් සමඟින් IPL ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද ඔවුන් සමත් වුනා.

  • Sunrisers Hyderabad182/3 (20) Heinrich Klaasen 47, Abdul Samad 37*; Krunal Pandya 2/24
  • Lucknow Super Giants185/3 (19.2) Prerak Mankad 64*, Nicholas Pooran 44*; Glenn Phillips 1/10

තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගැනීමට සමත් වුනේ Prerak Mankad විසිනුයි.

එමෙන් ම ලක්නව් විසින් ලද මෙම ජයග්‍රහණය නිසා මෙවර ලකුණු සටහනේ තත්වය තවත් පැටලිලි සහගත වී ඇති අතර, ඉදිරියේ දී පැවැත්වීමට ඉතිරි ව ඇති තරග කිහිපය ඉතාමත් තීරණාත්මක සහ උද්වේගකර ඒවා වනු ඇති.

එවැනි තවත් උද්වේගකර තරගයක් මේ වන විටත් Punjab Kings සහ Delhi Capitals කණ්ඩායම් අතර පැවැත්වෙන අතර, එම තරගය ද ඇතුළු තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා. IPL උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<