රාගම අවසන් මහා සටනට

SLC Major Clubs U23 Tournament 2023

409

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට රාගම ක්‍රීඩා සමාජය අද (16) සමත් වුනා.

CCC ක්‍රීඩාංගණයේ දී පැවති පළමු අවසන් පූර්ව තරගය සඳහා රාගම ක්‍රීඩා සමාජය සහ ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය තරග වැදුණා. එහි දී පළමු ඉනිමේ ප්‍රසාද ලකුණු ලබා ගත් රාගම ක්‍රීඩකයෝ මෙම අවස්ථා ලබා ගත්තා.

මේ අතර පෙර දිනයේ දී ක්‍රීඩාංගණයේ පැවති අයහපත් තත්ත්වය හේතුවෙන් තවත් දිනයක් ලබා ගනිමින් පළමු දිනයට ආරම්භ කෙරුණ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ SSC කණ්ඩායම් අතර දෙවැනි අවසන් පූර්ව තරගය අද කෝල්ට්ස් ක්‍රිකට් සමාජ පිටියේ දී ආරම්භ වුනා.

රාගම සහ ටැමිල් යූනියන් අතර තරගය CCC ක්‍රීඩා පිටියේ දී.

පෙර දිනයේ දී ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය වෙන් වූයේ රාගම ක්‍රීඩකයන් වෙනුවෙන්. ඔවුන් අද දවසේත් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 311ක් ලබා ගත්තා.

එපමණක් ගිය ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු ඉනිමේ කඩුලු 5ක් ලකුණු 86කට දැවී ගොස් තිබුණා. එම අවස්ථාවේ දී ශතක සබඳතාවක් ගොඩ නගමින් රාගම ඉනිමට ගෞරවයක් ගෙන දීමට රන්මිත් ජයසේන සහ නායක ඩෙලෝන් පීරිස් සමත් වුනා.

ලකුණු 191ක් දක්වා ගෙන යන 6 වැනි කඩුල්ලේ සබඳතාව ඩෙලෝන් පීරිස්ගේ දැවී යෑමත් සමඟින් බිඳවැටෙනවා. ඔහු පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 43ක් ලබා ගන්නවා.

අනතුරුව රන්මිත්, කල්හාර සේනාරත්න සමඟ එක් වෙමින් 8 වැනි කඩුල්ලට ද ශතක සබඳතාවක් ගොඩ නගනවා. රන්මිත් පන්දු 217කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 139ක් ලබා ගනිමින් තරගයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වුනා.

රාගම ඉනිම කඩුලු 9කින් සෑහීමකට පත් වෙද්දී කල්හාර සේනාරත්න පන්දු 109කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 109ක් ලබා සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී විශ්වකාන්ත වියස්කාන්ත් ලකුණු 85කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යවන්නා බවට පත් වෙද්දී දුලාජ් සමුදිත සහ නවීන් ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවා ගත්තා.

දැවැන්ත හඹා යන ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 240ක් පමණයි. එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන පන්දු 157කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 102ක් ලබා ගත්තා.

ඊට අමතර ව සිතාර හපුහින්න පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා‍ෙ

ටැමිල් ඉනිමේ අවසන් කඩුලු 6 ලකුණු 34ක් තුළ දවා ගැනීමට රාගම පන්දු යවන්නෝ සමත් වුනා. ඒ අතරින් ඩෙලෝන් පීරිස් ලකුණු 51කට කඩුලු 4ක් දවා ගත්තා. ඊට අමතර ව කල්හාර සේනාරත්න සහ යොහාන් ලියනගේ කඩුලු 2 බැගින් දවා ගත්තා.

  • රාගම – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 311 (94.3) රන්මිත් ජයසේන 139, ඩෙලෝන් පීරිස් 43, කල්හාර සේනාරත්න නොදැවී 60, දුලාජ් සමුදිත 2/43, විජයකාන්ත් වියස්කාන්ත් 3/85, යොහාන් ලියනගේ 2/22
  • ටැමිල් යූනියන් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 240 (67.5) නවෝද් පරණවිතාන 102, සිතාර හපුහින්න 41, තරිඳු හර්ෂණ 26, සලිඳු පතිරණ 20, කල්හාර සේනාරත්න 2/50, ඩෙලෝන් පීරිස් 4/51, යොහාන් ලියනගේ 2/22

රාගම ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජයග්‍රහණයක්.

මුවර්ස් සහ SSC අතර තරගය කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී

මෙම තරගය පෙර දිනයේ දී ආරම්භ කිරීමට නියමිත ව තිබුණ ද ක්‍රීඩාංගණ තණතිල්ල තරගයක් පැවැත්වීමට තරම් සුදුසු නොමැති බැව් විනිසුරුවන් තීරණය වුනා. එබැවින් තරගයේ පළමු දිනය අවසන් වූයේ එකඳු පන්දුවක් හෝ නොයවමින්. මේ හේතුව නිසා තරගයට අමතර දිනයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් අද දවසේත් දහවල් වරුව ම ක්‍රීඩාංගණය පිළිසකර කිරීමේ කටයුතුවලින් සමන්විත වීම හේතුවෙන් තරගය ආරම්භය කිරීම ප්‍රමාද වූවා. ඒ අනුව පස්වරු 1.30ට ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා ගත් SSC නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා මූවර්ස් නායකයාට ආරාධනා කළා.

පන්දුව තරමක් ඉපිල්ලෙන තණතිල්ලේ පළමු කඩුල්ල ලෙසින් ඔමේෂ් මෙන්ඩිස් ලකුණු නොලබා ම දැවී ගියා. අනතුරුව මූවර්ස් ඉනිමට ලකුණු 23ක් එක් වෙද්දී නායක දිනුක ඩිල්ශාන් ද දැවී ගියා. ඔහු තම සහෝදරයා වන කවිඳු නදීශාන් වෙතට උඩ පන්දුවක් දී දැවී යන විට පන්දු 26කට මුහුණ දී හතරේ පහරක් සමඟින් ලකුණු 15ක් ලබා සිටියා.

කඩුලු 2ක් දැවී ලකුණු 23ක් තිබිය දී මූවර්ස් ඉනිමට තෙවැනි කඩුල්ලට ලකුණු 68ක් එක් කිරීමට රෂීන් රම්ලාන් සහ ජනිෂ්ක පෙරේරා සමත් වුනා. රෂීන් පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 38ක් ලබා සිටිය දී දැවී ගියා.

අනතුරුව දැවී ගිය පිතිකරු වූයේ රිසිර වීරසූරිය. ඔහු පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ලබා ගත්තා.

තරගය පළමු දිනයට අවසන් වන විට ජනිශ්ක පෙරේරා පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 60ක් සහ ශාකූර් රශ්නි නොදැවී ලකුණක් ලබා සිටියා.

මූවර්ස් ඉනිමේ දැවී ගිය කඩුලු 4න් 2ක් වේගපන්දු යවන ක්‍රීඩක කළණ පෙරේරා සතු වූ අතර චමිඳු වික්‍රමසිංහ සහ නිම්නක ජයතිලක කඩුල්ල බැගින් බෙදා ගත්තා.

  • මූවර්ස් කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 137 (43) රෂීන් රම්ලාන් 38, ජනිශ්ක පෙරේරා නොදැවී 60, කළණ පෙරේරා 2/37

මෙම තරගය හෙට (17) අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි. Ranmith Jayasena

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<