දැන් Messi පරිපූර්ණ පාපන්දු පුරාවෘත්තයක්!

FIFA world cup 2022

2131

මේ කවරයේ ඡායාරූපය ලෝක පාපන්දු ඉතිහාසයේ සදා නොමැකෙන එකක් වනු ඇත. තවත් වසර ගණනාවකට පසු Pele සහ Diago Maradona වැනි ලෝක පාපන්දුවේ බිහි වූ විශිෂ්ටතමයින්ගේ නම් අතරේ Lionel Messiගේ නමත් කියවෙනු ඇත. ඒ සෑම විටම ඔබට මේ ඡායාරූපය කොහේ හෝ තැනකින් දකින්නට ලැබෙනු ඇත.

කෙතරම් දක්ෂ පාපන්දු ක්‍රීඩකයකු වුවත් ලෝක කුසලානයක් සිය නම ඉදිරියේ සටහන් නොවෙනවා නම් එය ඔහුගේ ක්‍රීඩා දිවිය තුල ඉතිරි වූ ලොකු හිස් තැනක් බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. Lionel Messi විසින් ඊයේ (18) සම්පූර්ණ කර ගත්තේ එම හිස් තැන පිරවිය යුතු පාපන්දු ලෝක කුසලාන සිහිනයයි.

දුෂ්කර ළමා කාලයක් ගත කරමින්, වැටීම් නින්දා ප්‍රශංසා දහසකුත් එකක් මැදින් ආ Messiගේ මෙම ගමනට ඊයේ පැවැත්වුණු ලෝක කුසලාන අවසන් මහා තරගය සිනමාත්මක අවසානයක් ලබා දීමට සමත් වුනා.

Messi විසින් මෙවර පාපන්දු ලෝක කුසලානයේ වාර්තා කළ ගෝල 7 සමඟින් සමස්ත ලෝක කුසලාන ගෝල 13ක් රැස් කර ගැනීමට සමත් වූ අතර ඔහු විසින් ආජන්ටිනාව වෙනුවෙන් වැඩිම ගෝල රැස් කර ගෙන සිටි Gabriel Batistutaගේ වාර්තාව අබිබවා යෑමට ද සමත් වුනා.

මගේ වාර්තාව පිටසක්වලයෙක් විසින් බිඳ දැමූ නිසා මට සැනසීමක් දැනෙනවා,” Batistuta විසින් Messi ව එසේ අගයනු ලැබුවා.

විවාදයක් නැහැ Messi තමයි මෙතෙක් ලොව පහළ වුන ශ්‍රේෂ්ඨතමයා. මම මේ කියන දේ තාර්කිකයි, ඇහැට පෙනෙන දේ මම විශ්වාස කරනවා. Messi ගේ සංඛ්‍යා දත්ත විශිෂ්ටයි.”

කලක් Maradonaගේ කණ්ඩායම් සගයකු වී සිටි Carlos Mac Allisterගේ පුත්‍රයා මෙන්ම, මෙවර ලෝක ශූර ආජන්ටිනා කණ්ඩායමේ Messiගේ කණ්ඩායම් සගයා ද වූ Alexis Mac Allister Messi ගැන එසේ පවසනවා.

නමුත් අදටත් Messiට Maradona විසින් ලබා දුන් ආනන්දනීය පාපන්දු හැඟීම ලබා දීමට නොහැකි වූ බවත් සමහරුන් විශ්වාස කරනවා.

Messi යෞවන වියේ දී ම Champions League ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර, වයස අවුරුදු 21ක් වන විට ඔලිම්පික් පදක්කමක් හිමි කර ගැනීමටත් සමත් වුනා. ඔහුගේ නම ඉදිරියෙන් Ballons d’Or සම්මාන 7ක් මෙන්ම ගෝල 800කුත් ලියැවී තිබෙනවා.

එමෙන්ම ඔහු Copa America ශූරතාවය ද ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

නමුත් ඒ කිසිවකින් සම්පූර්ණ කළ නො හැකි හිස්තැනක් ඊයේ වන තෙක් Messiගේ ක්‍රීඩා දිවිය තුල ඉතිරිව තිබුණා.

ඊයේ එම හිස් තැන වසා ගැනීමට Messiට පස්වැනි සහ අවසන් (බොහෝ දුරට) අවස්ථාව හිමි වූ අතර, ඔහු එය තමන්ගේ රාත්‍රිය බවට පත් කර ගැනීමට සමත් වුනා.

තරගාවලිය ආරම්භයේ දී ම සෞදි අරාබිය හමුවේ ලද පරාජයෙන් දැඩි විවේචනයට බඳුන් වූ ආජන්ටිනාව වෙනුවෙන් ඉදිරියට ආ Messi සිය ප්‍රේක්ෂකයින්ට පවසා සිටියේ තම කණ්ඩායම සමඟ ඉදිරියටත් රැඳී සිටින ලෙසත්, ඔවුන් ව කිසි ලෙසකින්වත් බලාපොරොත්තු රහිත නො කරන බවයි.

එය ඉතා ඉක්මන් මෙන්ම පහසු ජයග්‍රහණයක් නොවූ අතර කෙසේ හෝ ඔවුන් සිය ප්‍රේක්ෂකයින් කටාර් වලින් හිස් අතින් හරවා යැවුවේ නැහැ.

ඔහු සිය සහෝදර ක්‍රීඩකයින් වෙත සම්ප්‍රේෂණය කරන සෑම දෙයක් ම අසම සමයි. ඔහු කණ්ඩායම වෙනුවෙන් ඕනෑම දෙයක් කරන ක්‍රීඩකයෙක්,” ආජන්ටිනා පුහුණුකරු Lionel Scaloni විසින් Messi ගැන එසේ පවසනවා.

මෙවර ලෝක කුසලානය වෙනුවෙන් කටාර් වෙත පැමිණි ආජන්ටිනා කණ්ඩායම ක්‍රීඩා කළේ මෙම ලෝක කුසලානය Messiට අයිති කර දීම වෙනුවෙනුයි.

කුඩා කළ රූපවාහිනියෙන් තම වීරයා වූ Lionel Messi ක්‍රීඩා කරන අයුරු බලා සිටි Julian Alvarez මෙවර ලෝක කුසලානයේ Messiගේ සටන් සගයා වුනා.

Messiගේ ළඟම මිතුරකු සහ කණ්ඩායම් සගයා වන Rodrigo De Paul පවසා සිටියේ Messi වෙනුවෙන් තමන් යුද්ධයකට යන බවයි.

එමෙන්ම කණ්ඩායමේ ගෝල රකින්නා Emiliano Martinez පැවසුවේ ඔහු තමන් ගැන සිතා සතුටු වනවාට වඩා Messi ගැන සිතා සතුටු වන බවයි.

Messi මෙවර තරගාවලියේ ගෝල 7ක් සහ Assists 3කට දායක වූ අතර ඔහු පිළිවෙළින් සෞදි අරාබිය, මෙක්සිකෝව, ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය සහ ක්‍රොඒෂියාව යන රටවලට එරෙහිව එක ගෝලය බැගින් රැස් කිරීමට සමත් වූ අතර ඊයේ අවසන් මහා තරගයේ දී ප්‍රංශයට එරෙහිව ගෝල ද්විත්වයක් රැස් කිරීමට සමත් වුනා.

ඔහුට එදා පෝලන්තය සමඟ තරගයේ ලද දඬුවම් පහර සාර්ථක කර ගැනීමට හැකි වුනා නම් Messiගේ මෙම වාර්තාව තවත් සුවිශේෂී වන්නට ඉඩ තිබුණා.

Messiගේ ජයග්‍රහණය ආජන්ටිනා ජාතිකයින් පමණක් ම නොව ඔවුන්ගේ ප්‍රතිවාදී කණ්ඩායම්වල සාමාජිකයින් පවා බලාපොරොත්තු වූ එකක් බව අතීත සිදුවීම් පිළිබඳ සලකා බලද්දී හිතෙන දෙයක්.

මෙක්සිකෝව සමඟ තරගයෙන් පසුව මෙක්සිකෝ නායක Andres Guardardo තමන්ගේ පුතා Messi ළඟට එක්ක ගෙන එන්නේ ඒ දරුවාගේ වීරයා ව මුණ ගස්වන්නටයි.

ඕස්ට්‍රේලියාව සහ ආජන්ටිනාව අතර තරගයෙන් පස්සේ පරාජය වුනු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් Messi සමඟ සෙල්ෆි ඡායාරූපය ගන්න පේලි ගැහිලා සිටින ආකාරය ඔබටත් අනිවාර්යයෙන් ම මතක ඇති.

ඒ අතරේ ක්‍රොඒෂියානු ක්‍රීඩක Andrej Kramaric විසින් කියලා තිබුණා ඔහුට Messi ලෝක කුසලානය දිනනවා බලන්න අවශ්‍යයි කියලා.

සමහර විට සමහර ප්‍රංශ ජාතිකයිනුත් Messi ලෝක කුසලානය දිනනවා බලන්න කැමැත්තෙන් ඇති,” එහෙම කියන්නේ ප්‍රංශ කණ්ඩායමේ පුහුණුකරු Didier Deschamps විසින්.

ඒ තමයි Messi විසින් උපයා ගෙන තිබුණු ධනය,ලෝක කුසලානයක් හිමි කර ගැනීම නිසා එහි සහ ඔහුගේ වටිනාකම තවත් ඉහළ ගියා.

පෙර සඳහන් කළා මෙන් “ලෝක කුසලානයකින්” තොරව පාපන්දු ක්‍රීඩකයකු පරිපූර්ණත්වයට පත් නොවන බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි.

ඒ අනුව ඊයේ රාත්‍රිය “Messi පරිපූර්ණත්වයට පත් වූ රැය” ලෙස පාපන්දු ඉතිහාස කතාවේ රන් අකුරින් ලියැවෙනු ඇත.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම් , රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Sky Sports ඇසුරෙනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<