Home Sinhala පාකිස්තානය අන්දමන්ද කරමින් ශ්‍රී ලංකාවට ලකුණක තියුණු ජයක්!

පාකිස්තානය අන්දමන්ද කරමින් ශ්‍රී ලංකාවට ලකුණක තියුණු ජයක්!

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

267

සියලු බලාපොරොත්තු සුන්වී පරාජය කරා ගමන් ගනිමින් තිබූ අවසන් පූර්ව තරගය කණපිට හරවමින් කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අද (13) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හැකි වුනා.

ඒ හෘදයාබාධ ඇති කරවන සුලු උද්වේගකර තරගයකින් පසු පාකිස්තානු කණ්ඩායම එක් ලකුණකින් පරාජය කර දමමින්.

බංග්ලාදේශයේ සිල්හෙට් හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ චමරි අතපත්තු මුලින් පිතිකරණය තෝරා ගත්තේ එය තමන්ට ආසියානු කුසලානයේ බොහෝ ජයග්‍රහණය අත්කර දුන් නිසයි.

ජාත්‍යන්තර විස්තර විචාරකයින් පවා විමතියට පත් කරන අන්දමේ ඉතා අඩු ලකුණු සංඛ්‍යා ආරක්ෂා කර දීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූයේ වරක් දෙවරක් නම් නොවෙයි.

අද ශ්‍රී ලංකා පිතිකරණය චමරි අතපත්තු සහ අනුෂ්කා සංජීවනී ඇරඹුවේ වෙනදාට ඉනිම ආරම්භ කරන ලකුණු අතර සිටින පිතිකාරිණිය වන හර්ෂිතා මාධවී තෙවැනි ස්ථානයේ සඟවා දමමින්.

කෙසේ වෙතත් පසුගිය තරගයේ ලකුණු 41ක් රැස්කළ චමරිට අද නීතා දාර් යැවූ පන්දුව කඩුල්ලේ වදින විට රැස්කර ගැනීමට හැකිව තිබුණේ ලකුණු 10ක් පමණයි. අනෙක් අන්තයේ සිටි සංජීවනී පන්දු 21කින් ලකුණු 26ක් ලබා ගත්තේ වෙනදාට බොහෝ ශ්‍රී ලංකා පිතිකාරිණියන්ගෙන් නොදකින ඉතා හොඳ ප්‍රහාරක වේගයක් රඳවා ගනිමින්.

මදක් පමා වී පිටියට පිවිසි හර්ෂිතා අද කණ්ඩායමේ නැංගුරම බවට පත්වෙමින් පන්දු 41ක දී ලකුණු 35ක් රැස් කළා. ලකුණු ලබා ගැනීම පහසු නොවන සිල්හෙට් තණතීරුවේ දී මෙම 24 වියැති හුරුබුහුටි පිතිකාරිණිය එල්ල කළේ එක් හතරේ පහරක් පමණක් වුව ද කඩිසරව අන්ත දෙක අතර මාරු වෙමින් ශ්‍රී ලංකා ඉනිම පෝෂණය කළා.

නිලක්ෂි ද සිල්වා අද පාකිස්තානු පන්දු යැවීම හමුවේ නිරුත්තර වූ අතර ලකුණු 14ක් ලබා ගැනීමට ඇය පන්දු 27ක් වැය කළා. තරගාවලිය පුරාවට පෙනෙන්නට තිබූ මැදපෙළ දුර්වලතාව නිසා ශ්‍රී ලංකාවට අදත් පන්දුවාර 8ක් තුල එකදු හතරේ පහරක් හෝ එල්ල කිරීමට හැකි වුනේ නැහැ. කෙසේ නමුත් අවසන් පන්දුවාර 2ට ලකුණු 10 බැගින් ලබා ගැනීමට හැකි වූ නිසා ශ්‍රී ලංකාවට කඩුලු 6ක් දැවී ලකුණු 122ක් ලබා ගැනීමට හැකි වුනා.

අවසන් මහා තරගයට පිවිසීමට ලකුණු 123ක ඉලක්කයක් හිමි වූ පාකිස්තානය මුල් කඩුල්ලටම ලකුණු 31ක් ලබා සිටිද්දී ශ්‍රී ලංකාවට මුල් කඩුල්ල හිමිවන්නේ වාසනාවන්ත ලෙසයි. එහි දී වේගයෙන් පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකාවට හිසරදයක්ව තිබූ මුනීබා අලි ඉක්මන් ලකුණකට උත්සාහ කර ආපසු හැරී යද්දී ඇයට පිත්ත අත්හැරුණා. අනුෂ්කා සංජීවනී ක්ෂණයකින් කඩුල්ල බිඳ හෙළද්දී, මුනීබා අලි සීමා ඉරෙන් එපිට ඇද වැටී සිටියා.

එතැන් පටන් පාකිස්තානු ලකුණු වේගය තරමක් පාලනය වුව ද කඩුලු දවා ගැනීම නම් පහසු වූයේ නැහැ. විශේෂයෙන්ම පාකිස්තානු නායිකා බිස්මා මරූෆ් තම වගකීම අකුරටම ඉටු කරමින් පන්දු 41ක දී ලකුණු 42ක් ලබා ගත්තා. ඒ හතරේ පහර 4ක් සමඟිනුයි. මේ නිසාම සුරක්ෂිතව ජයග්‍රහණය කරා යමින් සිටි පාකිස්තානයට අවසන් පන්දුවාර 3ට කඩුලු 7ක්ම අතැතිව ලබා ගැනීමට අවශ්‍ය වූයේ ලකුණු 18ක් පමණයි.

මේ තීරණාත්මක මොහොතේ ශ්‍රී ලංකා පිළ සොයමින් සිටි කඩුල්ල සුගන්ධිකා කුමාරි දවා ගත් අතර බිස්මා මරූෆ් නොසැලකිලිමත් පහරක් හමුවේ ක්‍රීඩාගාරයට හැරී ගියා. මේ මොහොතේ පාකිස්තානය ඔවුන්ගේ ප්‍රහාරක පිතිකරණ තුරුම්පුව වන අයේශා නසීම් පිටියට එවන්නේ පෙර තරගයේ දී ඇය පිට පිටම හයේ පහර දෙකක් එල්ල කරමින් ශ්‍රී ලංකා ජය උදුරා ගත් නිසයි.

නමුත් 19 වැනි පන්දුවාරය ඇරඹූ අත්දැකීම් බහුල පන්දු යවන්නියක් වන ඉනෝකා රණවීර මන්දගාමීව යැවූ පන්දුව හමුවේ අයේශා කල් මැනීම වරද්දා ගත්තා. ඒ අනුව අයේශා ලකුණු 2කට පිටියෙන් ඉවත් වුනේ තරග උණුසුම දෙගුණ තෙගුණ කරමින්. ඉනෝකා රණවීර අවසන් පන්දුවාරය වෙනුවෙන් අචිනි කුලසූරියට ලකුණු 9ක් ඉතිරි කර දුන්නා.

මේ වන විටත් පිටියේ සිටි නීතා දාර් සහ ආලියා රියාස් යන ක්‍රීඩිකාවන් දෙදෙනාම හොඳ පිතිකරණ හැකියාවක් සහිත වුවද අචිනි කුලසූරිය තම වේග පන්දුවෙන් ප්‍රතිවාදීන් දෙදෙනාව මෙල්ල කළේ කණ්ඩායම් නායිකාව සහ සුවහසක් ප්‍රේක්ෂකයින් ඇය කෙරේ තැබූ බලාපොරොත්තු මුදුන්පත් කරමින්.

වයිඩ් යෝකර්, යෝකර් සහ දෝලනයෙන් යුතු පන්දු සංකලනයක් හමුවේ එකදු හතරේ පහරක් හෝ එල්ල කිරීමට නොහැකි වූ පාකිස්තානු පිළට ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දුවට ලකුණු 3ක් අවශ්‍ය වුනා.

“එහි දී ඇය අතින් වැරදී යැවුනු ෆුල්ටොස් පන්දුවට නීතා දාර් එල්ල කල පහර එක්‍ට්‍රා-කවර් හි රැඳී සිටි කවීශා වෙත ඇදී ආවත් එය රැක ගැනීමට ඇය අපොහොසත් වුනා. නමුත් ක්ෂණිකව ඇය එය සංජීවනී වෙත යැවූ අතර කඩුලු රකින්නිය පන්දුව අතැතිව කඩුල්ල වෙත කඩා පැන්නේ පාකිස්තානු පිළේ අවසන් මහා තරගයක සිහිනය බොඳ කර දමමිනුයි.”

Result


Pakistan Women
121/6 (20)

Sri Lanka Women
122/6 (20)

Batsmen R B 4s 6s SR
Chamari Athapaththu b Nida Dar 10 11 0 1 90.91
Anushka Sanjeewani st Muneeba Ali b Aiman Anwer 26 21 1 1 123.81
Harshitha Samarawickrama c Muneeba Ali b Nashra Sandhu 35 41 1 0 85.37
Nilakshi de Silva c & b Nashra Sandhu 14 27 0 0 51.85
Hasini Perera b Sadia Iqbal 13 10 1 0 130.00
Oshadi Ranasinghe st Muneeba Ali b Aiman Anwer 8 7 0 0 114.29
Kavisha Dilhari not out 7 3 1 0 233.33


Extras 9 (b 2 , lb 0 , nb 0, w 7, pen 0)
Total 122/6 (20 Overs, RR: 6.1)
Bowling O M R W Econ
Sadia Iqbal 4 0 26 1 6.50
Nida Dar 4 0 20 1 5.00
Aiman Anwer 3 0 28 1 9.33
Nashra Sandhu 4 0 17 3 4.25
Omaima Sohail 4 0 14 0 3.50
Tuba Hassan 1 0 15 0 15.00


Batsmen R B 4s 6s SR
Muneeba Ali run out (Anushka Sanjeewani) 18 10 3 0 180.00
Sidra Ameen c Hasini Perera b Inoka Ranaweera 9 20 1 0 45.00
Bismah Maroof b Sugandika Kumari 42 41 4 0 102.44
Omaima Sohail lbw b Kavisha Dilhari 10 14 0 0 71.43
Nida Dar run out (Kavisha Dilhari) 26 26 1 0 100.00
Ayesha Nasem c Kavisha Dilhari b Inoka Ranaweera 2 4 0 0 50.00
Aliya Riaz not out 2 5 0 0 40.00


Extras 12 (b 2 , lb 3 , nb 0, w 7, pen 0)
Total 121/6 (20 Overs, RR: 6.05)
Bowling O M R W Econ
Oshadi Ranasinghe 2 0 17 0 8.50
Achini Kulasuriya 4 0 22 0 5.50
Sugandika Kumari 4 0 26 1 6.50
Kavisha Dilhari 4 0 26 1 6.50
Inoka Ranaweera 4 1 17 2 4.25
Malsha Shehani 2 0 8 0 4.00



මේ අනුව කඩුලු 4ක්ම අතැතිව සිටියත් පාකිස්තානයට එක් ලකුණක පරාජය භාර ගැනීමට සිදු වුනා. තරගයේ වීරවරිය ලෙස අද සම්මානය පාත්‍ර වූයේ විශිෂ්ට පන්දු යැවීමක යෙදෙමින් ලකුණු 17කට තීරණාත්මක කඩුලු 2ක් දවා ගත් ඉනෝකා රණවීරයි.

මේ අනුව අද උදෑසන තායිලන්තය ලකුණු 74කින් පහසුවෙන් පැරදූ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අනිද්දා (15) අවසන් මහා තරගයේ දී එකිනෙකා මුණ ගැසෙනවා.

වසර 14කට පසු නොයෙකුත් බාධක මැද, විශේෂ අනුග්‍රහයකින් තොරව ආසියානු කුසලාන අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට රන් කුසලානයකින් ලක්මව සරසන්නට හැකි වේවායි ThePapare.com අපිත් සුබ පැතුම් එක්කර සිටිනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<