සහය දිවීමෙන් උණුසුම් වූ තෙවැනි දිනය

රිට්ස්බරි ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2022

876

ශ්‍රීමත් ජෝන් ටාර්බට් මලල ක්‍රීඩා ශූරතාවයේ තෙවැනි දිනය වූ අද (15) දිනයේ දී නව තරගාවලි වාර්තා තුනක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

ජාතික මලල ක්‍රීඩා පිටියෙහි සිය ආධිපත්‍යය, පාසල් මලල ක්‍රීඩා පිටියට ද රැගෙන ඒමට සමත් වූ මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වේ ජාතික ශූර ධනුක දර්ශන තරගාවලියේ අවුරුදු 20න් පහළ මීටර් 400 කඩුලු පැනීම ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් වුනේ තත්පර 52.25ක කාලයකින් තරගය අවසන් කරමින්.

අවුරුදු 18න් පහළ කාන්තා දුර පැනීමේ ඉසව්වට සහභාගී වූ බිබිල නන්නාපූරුව මධ්‍ය මහා විද්‍යාලයේ මදුශානි හේරත් එම ඉසව්වේ තරගාවලි වාර්තාව අලුත් කළා. ඇය එහි දී දැක්වූ දස්කම මීටර් 6.09ක්.

තරගාවලියේ අද දිනයේ දී බිඳ වැටුණු තෙවැනි වාර්තාව සටහන් කරමින් අවුරුදු 16න් පහළ කාන්තා රිටි පැනීම ඉසව්වෙහි මීටර් 3ක දස්කමක් දක්වමින් තරගාවලි වාර්තාවක් සමඟ ජයග්‍රහණය කිරීමට චාවකච්චේරිය හින්දු විද්‍යාලයේ P Abisalinyට හැකි වුනා.

අද දිනයේ උදෑසන වරුව උණුසුම් කරමින් ඊයේ (14) දින පැවැත්වීමට තිබූ කාන්තා සහ පිරිමි මීටර 100 X 4 අවසන් තරගයන් පැවැත්වුණා.

එහි අවුරුදු 16න් පහළ පිරිමි ඉසව්ව ඉතා තියුණු සටනකින් පසුව තත්පර 45.76ක කාලයකින් අවසන් කරමින් ජය ගැනීමට මීගමුව මාරිස්ටෙල්ලා ක්‍රීඩකයින්ට හැකි වූ අතර එහි කාන්තා තරගය තත්පර 51.38ක කාලයකින් අවසන් කරමින් ජය ගත්තේ මොරටුව වේල්ස් කුමරි විද්‍යාල ක්‍රීඩිකාවන් විසිනුයි.

අවුරුදු 18න් පහළ කාන්තා මීටර 100 X 4 ඉසව්ව තත්පර 51.53ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය කිරීමට කොළඹ ගේට්වේ විද්‍යාල ක්‍රීඩිකාවන්ට හැකි වූ අතර එහි පිරිමි කාණ්ඩයේ ජයග්‍රහණය හිමි වුනේ තත්පර 43.54ක කාලයකින් තරගය අවසන් කළ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයටයි.

මීටර 100 X 4 සහය දිවීම ඉසව්වේ අවුරුදු 20න් පහළ පිරිමි තරගය තත්පර 42.83ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය කිරීමට කොළඹ සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩකයින්ට හැකි වන විට තත්පර 50.34ක කාලයකින් ඉසව්ව අවසන් කළ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය ක්‍රීඩිකාවන් එහි කාන්තා තරගය ජයගත්තා.

අද දිනයේ පැවති තවත් වේගවත් ඉසව්වක් වූ පිරිමි මීටර් 110 කඩුලු පැනීම ඉසව්වෙහි අවුරුදු 22න් පහළ තරගය තත්පර 15.06ක කාලයකින් අවසන් කරමින් ජය ගැනීමට මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ඒ. සිරිමල්ට හැකි වුනා.

>> තරගාවලියේ මෙතෙක් තරග ප්‍රතිඵල<<  

තරගාවලියේ සිව්වැනි සහ අවසන් දිනයේ තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<