ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරග දෙකක තරගාවලියේ පළමු තරගයේ පළමු දිනය අද (29) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.
දිනය නිමා වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඕස්ට්‍රේලියාව කඩුලු 3ක් දැවී ලකුණු 98ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකාවට වඩා තවත් ලකුණු 114ක් පසුපසින් සිටිමින්.
තරගයේ තීරණාත්මක සාධකයක් වුනු කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත් වුනු අතර ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග දෙකක් වන මේ තරගාවලිය වෝන් – මුරලි කුසලානය වෙනුවෙන් පැවැත්වෙන අතර එහි පළමු ටෙස්ට් තරගය, මීට මාස කිහිපයකට ඉහත දී හදිසියේ මෙලොව හැර ගිය Shane Warne වෙනුවෙන් නම් කර තිබීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගත් 158 වැනි ක්‍රීඩකයා බවට පත්වීමට ජෙෆ්රි වැන්ඩර්සේ අද සමත් වුනු අතර නිරෝෂන් දික්වැල්ල සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ක්‍රීඩා කරන 50 වැනි ටෙස්ට් තරගය මෙයයි. ශ්‍රී ලංකාව නිත්‍ය දඟපන්දු යවන්නන් තිදෙනෙක් සමඟ මේ තරගයට අවතීර්ණ වුනු අතර ඕස්ට්‍රේලියාව නිත්‍ය දඟපන්දු යවන්නන් දෙදෙනෙක් සමඟ මේ තරගයට අවතීර්ණ වුනා.
පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,
- ශ්‍රී ලංකාව – Pathum Nissanka, Dimuth Karunaratne (capt), Kusal Mendis, Angelo Mathews, Dhananjaya de Silva, Dinesh Chandimal, Niroshan Dickwella (wk), Ramesh Mendis, Jeffrey Vandersay, Lasith Embuldeniya, Asitha Fernando
- ඕස්ට්‍රේලියා – David Warner, Usman Khawaja, Marnus Labuschagne, Steven Smith, Travis Head, Cameron Green, Alex Carey (wk), Pat Cummins (capt), Mitchell Starc, Nathan Lyon, Mitchell Swepson
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ නායක කරුණාරත්න සහ නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 38ක සබඳතාවයක් ගොඩනැංවූවා. පළමු කඩුල්ල ලෙස ලකුණු 23ක් ලබාගෙන සිටි නිස්සංකව දවා ගැනීමට දැනට ලොව අංක 1 ටෙස්ට් පන්දු යවන්නා වන Cummins සමත් වුනා. කුසල් මෙන්ඩිස් ලකුණු 3යි.
අනතුරුව පිටියට පැමිණි මැතිව්ස් – කරුණාරත්න සමඟ එක්ව දිනයේ පළමු සැසිය අවසන් වන විට ලකුණු 62ක් දක්වා ශ්‍රී ලංකා පළමු ඉනිම ගොඩනංවාලීමට සමත් වුවත් පළමු සැසියට සාපේක්ෂව දෙවැනි සැසිය තුල පන්දුවේ දඟකැවීම සහ ඉපිලීම වැඩිවී තිබීම පිතිකරුවන්ට මරු පහරක් වුනා.
දිවා ආහාරයට පසුව ක්‍රියාත්මක වුනු 14 වැනි පන්දුවේ දී පන්දු 84ක් තුල ලකුණු 28ක් ලබාගෙන සිටි කරුණාරත්නගේ කඩුල්ල දවා ගැනීමට දකුණතින් පිට දඟපන්දු යවන Lyon සමත් වුනු අතර Warner Slip කලාපයේ සිට ඉදිරියට පනිමින් සුපිරි ගණයේ උඩ පන්දුවක් රැකගත්තා.
අනතුරුව ශ්‍රී ලංකා මැදපෙළ කඩුලු 2ක් එක ළඟ දවා ගනිමින් ධනංජය (ලකුණු 14) සහ චන්දිමාල්ව (ලකුණු 0) ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වුනු Swepson ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කළා.
ශ්‍රී ලංකා මැදපෙළ ස්ථාවර කිරීමට විශාල වෑයමක් දැරූ මැතිව්ස් 4 පහර 3ක් එල්ල කරමින් පන්දු 71ක් තුල ලකුණු 39කට දවාගැනීමට Lyon සමත් වුනු අතර එහි දී ද පිතිකරුවා බලාපොරොත්තු නොවුණු ආකාරයේ අනපේක්ෂිත දඟකැවීමක් දැකගන්නට ලැබුණා.
පළමු දිනයේ තේ පානය සඳහා තරගය නවතාලන විට ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 191ක් ලබාගෙන යම් ස්ථාවරත්වයක් ගොඩනංවාගෙන සිටියා. රමේෂ් සහ දික්වැල්ල එකතු වී 7 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ එම සබඳතාවය ශ්‍රී ලංකා පළමු ඉනිමේ හොඳම සබඳතාවය වුනා.
රමේෂ් – දික්වැල්ල 7 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 54 සබඳතාවය අවසන් කරමින් තේ පානයට පසුව ක්‍රියාත්මක කෙරුණු 11 වැනි පන්දුවේ දී ලකුණු 22ක් ලබාගෙන සිටි රමේෂ් දවා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුනු අතර සිය 50 වැනි ටෙස්ට් තරගයේ දී 21 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබා ගත් දික්වැල්ල ලකුණු 58කට දැවී ගියා.
ස්වීප් සහ රිවර්ස් ස්වීප් පහර වැඩි ලෙස ප්‍රයෝජනයට ගනිමින් ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන්නන්ට එරෙහිව හොඳ ප්‍රහාරාත්මක වේගයක් රඳවාගෙන පන්දුවට පහර දුන් දික්වැල්ල පන්දු 59ක දී 4 පහර 6ක් එල්ල කරමින් ලකුණු 58ක් ලබා ගත්තා. එය ශ්‍රී ලංකා ලකුණු සටහනට ඉතාමත් වැදගත් සහ වටිනා ඉනිමක් වුනා.
ශ්‍රී ලංකා පසුපෙළ අවසන් කඩුලු දෙක ලකුණු 14ක් තුල දවා ගත් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 212කට සීමා කළේ පන්දුවාර 59ක් තුලයි.
පන්දු යැවීමේ දී මීට වසර 11කට පෙර මේ ක්‍රීඩාංගණයේ දී සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළ Lyon අද දිනයේ දී සිය 20 වැනි කඩුලු 5 අවස්ථාව සාර්ථක කර ගත් අතර ඔහු ලකුණු 90කට කඩුලු 5ක් දවාගෙන දස්කම් දැක්වූවා.
ඊට අමතරව දකුණතින් පා දඟපන්දු යවන Swepson සිය කෙටි ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉනිමක හොඳම පන්දු යැවීමේ දස්කම පෙන්නුම් කරමින් ලකුණු 55කට කඩුලු 3ක් දවා ගත්තා. ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන්නන් කඩුලු 8ක් දවා ගන්නා විට Cummins සහ Starc කඩුල්ල බැගින් දවා ගත්තා.
- රංගන සහ මුරලිගෙන් ලැබූ පන්නරය සිහිකරන ඕස්ට්‍රේලියානුවා
- පළමු ටෙස්ට් තරගයට Smith එන ලකුණු
- ඕස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
- වසර 30කට පසු ඉතිහාසය වෙනස් කළ කෝඩුකාරයෝ!
- චමරිගේ අගනා ඉනිම ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි!
පිළිතුරු ඉනිම දියත් කිරීමට පැමිණි ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ දැවී ගිය කඩුලු 3න් 2ක් රමේෂ් විසින් දවා ගත් අතර අනෙක් කඩුල්ල ලෙස ලකුණු 6ක් ලබාගෙන සිටි Smith දුවද්දී දැවී යාමකට හසුවුණා. Smithගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ දුවද්දී දැවී යාමකට හසුව දැවී ගිය 5 වැනි අවස්ථාව එයයි. ආරම්භක පිතිකරු Warner සහ අංක 3 පිතිකරු Labuschagne පිළිවෙළින් ලකුණු 25කට සහ ලකුණු 13කට දවා ගැනීමට රමේෂ් සමත් වීම කැපී පෙනුණා.
Khawaja සහ Head දවා ගැනීමට තිබුණු ස්ටම්ප් කිරීම් දෙකක් දික්වැල්ල අතින් ගිලිහී ගිය නමුත් එම අවස්ථාවන් දෙකේ දී ම පන්දුව අනපේක්ෂිත ලෙස ඉපිලීම නිසා දික්වැල්ලට එම පන්දු රැකගෙන ස්ටම්ප් කිරීම් සාර්ථක කරගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.
දිනය නිමා වන විට Khawaja 4 පහර 5ක් සමඟ නොදැවී ලකුණු 47*ක් ලබාගෙන ඉතාමත් හොඳ ඉනිමක් දියත් කරමින් සිටින අතර අනෙක් අන්තයේ සිටින Head නොදැවී ලකුණු 6ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටිනවා.
තරගයේ දෙවැනි දිනය හෙටයි (30). තරගාවලියේ සියලුම තොරතුරු, එසැණ පුවත්, තරග සේයා රූ හා විශේෂ වීඩියෝ ඇතුළු තවත් දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<