කොදෙව් වේගපන්දුවේ සද්දන්ත සලකුණ ඇම්බි!

3881
Sir Curtly Ambrose 2021
@Getty Images

“ඇම්බි, පුළුවන් තරම් වෙලාවක් බැට් කරන්න වෙනවා.” පන්දුවට පහර දීමට පිටියට පිවිසෙන කර්ට්ලි ඇම්බ්‍රෝස්ට කොදෙව් කණ්ඩායමේ සෙසු සාමාජිකයින් එකා මෙන් පැවසුවා.

කණ්ඩායම වැටී තිබෙන තත්ත්වය ඇම්බි නොදැන සිටියා නොවේ. කණ්ඩායමේ තමාගේ රාජකාරිය පන්දු යවන්නෙකු ලෙස වුවත් පිත්තෙන් තමාට යමක් කළ හැකි බව ඇම්බි නොදැන සිටියා ද නොවේ.

1994 වසරේ එංගලන්තය සමග පෝර්ට් ඔෆ් ස්පේන් හී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ වැඩි ගෞරව මේ අවස්ථාව වන විට සංචාරක එංගලන්ත කණ්ඩායම සතුය.

එංගලන්ත නායක මයික් ඇතර්ටන් හිටි හැටියේම පන්දු යවන්නට ඇන්ඩි කැඩික් කැඳවුවා.  බොහෝ වේලාවක් පන්දුවට පහර දෙන්නට ගිය ඇම්බිගේ හිත දැන් තරමක් වෙනස් වෙලා. මොකක්දෝ අහේතුවකට ඇම්බිට පන්දු යවන්නට එන කැඩික් දිරවන්නෙම නැත.

කැඩික්ගේ පන්දු යැවීමේ ඉරියව්ව බොහෝ සෙයින් සමාන වන්නේ නවසීලන්තය නියෝජනය කළ තුන් ඉරියව් සුරුවා ශ්‍රීමත් රිචඩ් හැඩ්ලිට බව ඇම්බි කල්පනා කළේය. හැඩ්ලි ඇම්බිගේ ක්‍රිකට් ලෝකයේ වීරයෙකි.

පාරවල් දෙක තුනක් ගහලා පන්නලාම දාන්න ඕන“, ඇම්බි තමාටම කියා ගත්තේය.

කැඩික් යොමු කළ ඊළඟ පන්දුවට මිඩ්විකට් කලාපය හරහා හතරේ පහරකි.

තව ගහන්න ඕන. හැඩ්ලි වගේ බෝල් කරන්න හැමෝටම ඉඩ දෙන්න බෑ” ඇම්බිගේ තිර අධිෂ්ඨානය කැඩික්ට එළවා එළවා පහර දීමය.

නැවත වතාවක් මිඩ්විකට් කලාපය හරහා පහරකි. අවාසනාවකට එවර නම් ඇම්බිට ඔහුගේ පිටුපසින් ඇසුණේ භයංකර ශබ්දයකි.

සිය පා ඉන්න ගැළවී ඉවතට විසි වෙද්දි ඇම්බි කර බා ගෙන ක්‍රීඩා මණ්ඩපයට පියමැන්නේය.

කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙසින් තමන් වගකීම පැහැර හැරි බවක් දැන් ඇම්බිට දැනේ.

කණ්ඩායමේ සෙසු සගයෝ වෙනදා මෙන් නැත. කෙදිනකවත් නොමැති ආකාරයෙන් ඇතමෙකු එළිපිටම ඇම්බිට අප්‍රසාදය පළ කළහ.

තරගයේ සිව්වැනි දිනයේ අවසන් හරියට වෙන්නට බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම ලකුණු 269කට සීමා වෙද්දී ජයග්‍රහණය වෙනුවෙන් එංගලන්තයට ලකුණු 194ක ඉලක්කයකි.

අප කතානායක ඇම්බිට දැන් ඇත්තේ තමාගේ ප්‍රතිරූපය ගැන ප්‍රශ්නාර්ථයකි. පන්දුවෙන් කුමක් හෝ කළ යුතුය.

සිව්වැනි දිනයේ නිමාවට ඉතිරිව ඇත්තේ පන්දුවාර කිහිපයකි.

දවස ඉවර වෙන්න කලින් විකට් තුන හතරක් වත් ගන්න පුළුවන් වුනොත් නම්….”

කොදෙව් නායක රිචී රිචර්ඩ්සන් අවසන් වතාවටත් සිය කණ්ඩායමේ සාමාජිකයින්ට මතක් කළේය.

එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව කොදෙව් නායකයා දනී.

පුදුමයකි. දිනය නිමා වන විට එංගලන්ත ලකුණු පුවරුව කියවුණේ 40/8ක් ලෙසිනි.

එංගලන්ත පිතිකරණයේ කොඳු නාරටිය බිඳ දැමූ ඇම්බිගේ නමට ඉදිරියෙන් කඩුලු හයකි.

කර්ට්ලි ඇම්බ්‍රෝස් එංගලන්ත කඩුලු දඩයමේ  @ESPN Cricinfo

එංගලන්ත නායක මයිකල් ඇතර්ටන්, ඇලෙක් ස්ටුවර්ට්, ග්‍රැහැම් තෝර්ප්, රොබින් ස්මිත් යන පිතිකරුවෝ එකා පිටුපස එකා පිටියෙන් ඉවතට පියමැන්නේ ඇම්බිගේ පන්දු හමුවේ කට උත්තර නොමැතිවය.

පසුවදා උදෑසන ඉතිරි කඩුලු දෙකත් දවා ගත් කොදෙව්වන් එංගලන්ත ඉනිම ලකුණු 46කට සීමා කරමින් අවමන් සහගත පරාජයක් සංචාරකයින්ට උරුම කළහ.

තමාගේ පිත්තෙන් වූ වරද නිවැරදි කර ගනිමින් පන්දුවෙන් උසස් දස්කම් දැක්වූ ඇමිබි තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

පැසිපන්දුව ඔහුගේ පළමු තේරීම විය © Curtly Ambrose: Time to Talk

1963 වසරේ ඇන්ටිගුවා’හීදී උපත ලද කර්ට්ලි එල්කොන් ලින්වෝල් ඇම්බ්‍රෝස් කිසිම දිනෙක ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන්නට සිහින මැව්වේ නැත.

එක්සත් ජනපදයට පැසිපන්දු ක්‍රීඩා කිරීමට හෝ පාපන්දු ක්‍රීඩකයෙකු වීමට ඔහු බලාපොරොත්තුවෙන් සිටියේය. ඔහුගේ ඒ සිහිනයට හරහට සිටියේ හීලී ඔටෝ නම් ඔහුගේ මවය.

උග්‍ර ක්‍රිකට් රසිකාවියක වූ සිය මව සැනසීමට අකමැත්තෙන් රතු ක්‍රිකට් පන්දුව අතට ගත් ඇම්බි නැතහොත් කර්ට්ලි ඉන් බොහෝ දුරක් ගියේය.

කර්ට්ලිගේ නමේ එක් කොටසකට දායකත්වය සැපයූවේ හිටපු ස්ට්‍රේලියානු වේගපන්දු යවන්නෙකු වූ රේ ලින්ඩ්වෝල් ය. කර්ට්ලිගේ මව ලින්ඩ්වෝල්ගේ රසිකාවියක වූ බැවින් සිය හතර වැනි දරුවා වූ කර්ට්ලිගේ නමට ලින්වෝල් යන්න එක් කිරීමට තීරණය කළාය.

කර්ට්ලිගේ පියා කුඩා ඔහුට කුඩා අවධියේ දීම එක්සත් ජනපදයේ රැකියාවක් සොයා ගිය අතර කර්ට්ලි ඇතුළු දරුවන් සියලු දෙනාගේ බර පැටවුනේ ඔවුන්ගේ මව හීලී ඔටෝ මතටය.

සුරාවට ඇබ්බැහි වූ සූදූ අන්තුවෙකු වූ කර්ට්ලිගේ පියා ජෝෂුවාගෙන් සිතූ ආකාරයෙන් මූල්‍යමය ආධාරයක් පවුලට ලැබුණේ නැත. ජෝෂුවා නිසාවෙන් සිය පවුලට විඳීමට සිදු වූ දුක් ගැහැට හේතුවෙන් පියාගේ අඩිපාරේ නොයෑමට අධිෂ්ඨාන කර ගත් කර්ට්ලි මත්පැනෙන් සහ දුම් පානයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින්නට තීරණය කළේය.

1986 වසරේ පෙබරවාරි 12 වෙනිදා ලීවර්ඩ්ස් දූපත් වෙනුවෙන් පළමුපෙළ තරග වරම් දිනා ගන්නට කර්ට්ලි සමත් විය.

ක්‍රිකට් දිවියේ මුල් අවධියේ දී @Cricket Legends, Fox Sports

මගේ මවගේ සිහිනය සැබෑවීමක් ඒක. එයාගේ දරුවන්ගෙන් කවුරු හරි මොනවා හරි මට්ටමකින් ක්‍රිකට් ගහනවා දකින්නයි මගේ අම්මට ඕන කළේ.”

සිය මුල්ම පළමුපෙළ තරගයේදී කඩුලු හතරක් දවා ගත් කර්ට්ලි ලීවර්ඩ්ස් කණ්ඩායමේ නායක විවියන් රිචර්ඩ්ස් ගේ නොමද පැසසුමට ලක්විය.

කොහෙද මිනිහෝ මෙච්චර කල් හැංගිලා හිටියේ” විව් තරගයෙන් අනතුරුව පැවසුවේය.

1986 එංගලන්තයේ ලීග් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට වරම් ලද කර්ට්ලි එහි දී උසස් දස්කම් දක්වන්නට සමත් විය. එවර තරග වාරයේ දී කඩුල්ලකට සාමාන්‍ය 9.80ක් පමණක් ලබා දෙමින් කඩුලු 84ක් දවා ගත් කර්ට්ලි ඊට පසු වසරේ තරග වාරයේ දී කඩුලු 115ක් දවා ගැනීමට සමත් විය.

කර්ට්ලි එංගලන්ත ලීග් තරග වාරයේ දක්වන දස්කම් ගැන ආරංචිය ඇන්ටිගුවා ක්‍රිකට් ලෝලීන්ගේ අමන්දා නන්දයට හේතු විය. වැඩි කාලයක් යන්නට මත්තෙන් බටහිර ඉන්දීය කොදෙව් ජාතික කණ්ඩායම නියෝජනය කරන්නට කර්ට්ලි වාසනාවන්ත වේ යැයි ඔවුහු විශ්වාස කළහ.

1988 වසරේ සංචාරක පාකිස්තානු කණ්ඩායමට එරෙහිව එක්දින සහ ටෙස්ට් වරම් දිනූ කර්ට්ලි තරග දිවිය නිමා වන විට ටෙස්ට් තරග 98ක දී කඩුලු 405ක් සහ එක්දින තරග 176ක දී කඩුලු 225ක් දවා ගන්නට සමත් විය.

කර්ට්ලි ඇම්බ්‍රෝස් කණ්ඩායමට පැමිණෙන සමයේ කොදෙව් කණ්ඩායමේ වේගපන්දු රැහේ නායකත්වය දැරූවේ මැල්කම් මාර්ෂල් ය. නමුත් මාර්ෂල් කිසිම ආකාරයකින් කර්ට්ලි අනාගතයක් ඇති අයෙකු බව දුටුවේ නැත.

කර්ට්ලිගේ උස නිසාවෙන් ක්‍රීඩාව ආරම්භ කළ සමයේ ජොඑල් ගානර් ට සමාන කරන්නට විස්තර විචාරකයින් පෙළඹී සිටියහ.

1988 එංගලන්ත තරග සංචාරයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරගයේ කර්ට්ලි පන්දු යවමින් සිටි එක්තරා අවස්ථාවක ඇලන් ලෑම්බ් පන්දු යවන්නා පසු කරමින් වේගවත් හතරේ පහරක් එල්ල කළේය.

ගානර්ට නම් කවුරුත්, කවදාවත් ඔය වගේ පාරක් ගහන්නේ නෑ”, මාර්ෂල් තරමක ආවේගයෙන් කටහඬ අවදි කළේය.

මාර්ෂල් පන්දු බලඇණියේ නායකයා ය. මාර්ෂල්ගේ ඉකුත් ප්‍රකාශය සිය පස්වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කර්ට්ලිට ලබා දුන්නේ යහපත් උත්තේජනයක් නොවේ.

එදින රාත්‍රියේ කණ්ඩායම රැඳී සිටි හෝටලයට ගිය කර්ට්ලි කල්පනා කළේ මාර්ෂල් තමා වෙත ලබා දුන් අවම රෙකමදාරුව ගැන ය.

කෙසේ හෝ මාර්ෂල්ගේ මතය වෙනස් කරන්නෙමියි කර්ට්ලි තිර ලෙසම සිතා ගත්තේය.

වසර ගණනාවකට පසු මැල්කම් මාර්ෂල්ගේ ගෞරවය දිනා ගන්නා තැනට දස්කම් පාන්නට තමාට හැකි වූ බව කර්ට්ලි කියන්නේ ආඩම්බරයෙනි.

හැමවිටම වේගපන්දු යවන්නෙකු ලෙස ඉක්මනින් දියුණු වීමට මාර්ෂල්ගෙන් ලද ගුරුහරුකම් තමාට මහත් ශක්තියක් වූ බව ද කර්ට්ලි සිහිපත් කරන්නේ ගෞරවාන්විතවය.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහි වූ අද්විතීයම පන්දු යවන්නෙකු ලෙස සැලකෙන කර්ට්ලි ඇම්බ්‍රෝස් අඩි හයයි, අඟල් අටක් වූ සිය උස නියමාකාරයෙන්ම භාවිතයට ගත්තෙක් විය. වේගය සමඟ නිසි එල්ලය ඔහුගේ තියුණුම ආයුධය විය.

ක්‍රිකට් ක්‍රීඩා කරන සමයේ බොහෝ මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය සාකච්ඡාවන්ට පිටුපෑ නිසාම කර්ට්ලි ඇම්බ්‍රෝස්ගේ නමට ඉදිරියෙන් ‘Curtly talks to no man’ යන යෙදුම භාවිතා කරන්නට ක්‍රීඩා මාධ්‍යවේදීන් කටයුතු කළහ.

ක්‍රිකට් පිටියෙන් ඉවත දී ක්‍රිකට් ගැන කතා කිරීමට කර්ට්ලි කිසිම ආකාරයකින් කැමැත්තක් දැක්වූයේ නැත.

ක්‍රිකට් ක්‍රීඩාවට කිසිම ආදරයක් නොදැක්වූවෙකු ලෙස ඔහු පැමිණි දුර ඉතා පුදුමයි”, ඇන්ටිගුවාවෙන් බිහි වූ තවත් සුපිරිතම වේගපන්දු කරුවෙකු වූ ඇන්ඩි රොබර්ට්ස් පසුකලෙක කීවේය.

කර්ට්ලි ඇම්බ්‍රෝස් නයිට් පදවියෙන් පුද ලබමින් © Curtly Ambrose: Time to Talk

2011 වසරේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අද්විතීය ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඇතුළත් කෙරුණ කර්ට්ලි, 2014 වසරේ නයිට් පදිවියෙන් පුද ලද්දේය.

1993 වසරේ සංචාරක කොදෙව් කණ්ඩායම සමග කර්ට්ලි ශ්‍රී ලංකාවේ ද සංචාරයක යෙදුනේය.

ඒ ගැන ඔහුට ඇත්තේ ප්‍රසන්න මතකයකි.

“ශ්‍රී ලංකාව කියන්නේ සුන්දර, ප්‍රසන්න රටක්. ඔවුන් අපිව හොඳින් බලා කියා ගත්තා. වර්ෂාවෙන් තරගාවලියට බාධා ඇති වීම ලොකු පාඩුවක්.”

ඇම්බි නොහොත් ශ්‍රීමත් කර්ට්ලි ඇම්බ්‍රෝස් සිය ස්වයංචරිතාපදානයේ ශ්‍රී ලංකාව ගැන එසේ ලියා තැබුවේය.

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<