සම්පත් බැංකු, ජෝන් කීල්ස් සහ CDB ජයග්‍රහණ අතරට

29වන සිංගර් වෙළඳසේවා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

2049

සිංගර් ශ්‍රී ලංකා ආයතනය සහ වෙළඳසේවා ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන 29 වැනි සිංගර්-වෙළඳසේවා (MCA) ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලිය අද (29) ආරම්භ වුනා.

අද පැවති තරගවල දී සම්පත් බැංකු, ජෝන් කීල්ස් සහ CDB යන කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වුනා.

පිතිකරණයෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ ලසිත් අබේරත්න (සම්පත් බැංකු A) ශතකයක් ලබාගෙන දස්කම් දැක්වූ අතර සහන් ආරච්චිගේ (සම්පත් බැංකු – A), ඩිල්ශාන් මුණවීර (HNB), මුදිත ලක්ෂාන් (CDB), ඩිලාන් ජයලත් (Mode ඉංජිනියර්ස්), අකිල දනංජය (ජෝන් කීල්ස් A) සහ කවීන් බණ්ඩාර (ජෝන් කීල්ස් A) අර්ධ ශතක ලබාගෙන දස්කම් දැක්වූවා.

පන්දු යැවීමේ දී ද ජෝන් කිල්ස් නියෝජනය කළ අකිල දනංජය ගියවර ශූරතාවය දිනා ගත් හේලීස් කණ්ඩායමට එරෙහිව කඩුලු 4ක දස්කමක් දක්වමින් කැපී පෙනෙන තුන් ඉරියව් දස්කම් දක්වමින් ජොන් කීල්ස් ජයග්‍රහණය තහවුරු කිරීමට දායක වුනා.

දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී පැවති එම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ජෝන් කීල්ස් කඩුලු 8ක් ලකුණු 117 කට කඩුලු 8ක් බිඳ වැටුණු මොහොතේ දී අකිල පන්දු 43ක දී එම වේගවත් අර්ධ ශතකය වාර්තා කරගත්තා. අකිලගේ එම ඉනිමට 4 පහරක් සහ 6 පහර 4ක් ඇතුලත් වුනු අතර ඔවුන්ගේ මුල් පෙළ පිතිකරු කවීන් බණ්ඩාර ද අර්ධ ශතකයක් ලබා ගත්තා.

හැටන් නැෂනල් බැංකුව (HNB) සහ සම්පත් බැංකුව අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ දී සම්පත් බැංකුව නියෝජනය කළ අබේරත්න 4 පහර 3ක් සහ 6 පහර 5ක් සමඟ පන්දු 108ක දී ලකුණු 106ක් ලබාගෙන අද දිනයේ වාර්තා වුනු එකම ශතකය ලබා ගැනීමට සමත් වන විට, ඔහුට අනගි සහයක් ලබා දුන් ආරච්චිගේ හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් සමඟින් පන්දු 64කින් වේගවත් ලකුණු 81ක් රැස් කළා.

HNB ද සාර්ථක ලෙස එම ඉලක්කය පසුපස හඹා ගිය නමුත් අවසානයේ දී ඔවුන්ගේ කඩුලු බිඳ වැටීම නිසා එම වෑයම අසාර්ථක වුනා. ඩිල්ශාන් මුණවීර පන්දු 63ක දී 4 පහර 10ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් ලකුණු 83ක් ලබා ගත්තා. චාමර සිල්වා නොදැවී ලකුණු 43*යි.

අවසානයේ දී අයපහත් ආලෝක තත්වය නිසා තරගය නවතා දැමීමට සිදු වුන නිසා ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 16කින් තරගය ජය ගැනීමට සම්පත් බැංකු කණ්ඩායමට හැකි වුනා.

CDB – A සහ මෙවර තරගාවලිය සඳහා අලුතින් එක්වූ Mode ඉංජිනියර්ස් අතර පැවති තරගයෙන් ලකුණු 105ක පහසු ජයක් ලබා ගැනීමට CDB සමත් වුනා. එහි දී මුදිත ලක්ෂාන් ලබා ගත් අර්ධ ශතකය සහ ලහිරු උදාර ලබා ගත් ලකුණු 43 සවියක් කරගනිමින් කඩුලු 8ක් දැවී ලකුණු 266ක් ලබා ගැනීමට CDB සමත් වුවත්, පිළිතුරු ඉනිම දියත් කළ Mode ඉංජිනියර්ස්ට සියල්ලන්ම දැවී රැස් කරගැනීමට හැකි වුණේ ලකුණු 161ක් පමණයි. පන්දු යැවීමේ දී ලක්ෂිත මණසිංහ කඩුලු 3ක් දවා ගත්තා.

සම්පත් බැංකු A සහ HNB – A

  • කාසියේ වාසිය – HNB
  • ක්‍රීඩාංගණය – කෝල්ට්ස්

සම්පත් බැංකුව – 303/8 (50): ලසිත් අබේරත්න 106, සහන් ආරච්චිගේ 81, ආකාශ් සේනාරත්න 48, මාධව වර්ණපුර 2/43, ගයාන් සිරිසෝම 2/50, විමුක්ති පෙරේරා 2/61.

HNB – 221/6 (40); ඩිල්ශාන් මුණවීර 83, චාමර සිල්වා 43, ශිරාන් ප්‍රනාන්දු 3/43.

සම්පත් බැංකු කණ්ඩායමට ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 16ක ජයක්


Mode ඉංජිනියර්ස් සහ CDB – A

  • කාසියේ වාසිය – Mode ඉංජිනියර්ස්
  • ක්‍රීඩාංගණය – CCC

CDB – 266/8 (50): මුදිත ලක්ෂාන් 54, ලහිරු උදාර 43, ඇන්ජලෝ පෙරේරා 25, ලහිරු මධුශංක 24, ඉසුරු උදාන 2/28, මිලාන් ප්‍රියනාත් 2/59, රවීන් සේයාර් 2/62.

Mode ඉංජිනියර්ස් – 161/10 (42.5): ඩිලාන් ජයලත් 50, සංගීත් කුරේ 31, ලක්ෂිත මණසිංහ 3/18, ලහිරු මධුශංක 2/29, ඇන්ජලෝ පෙරේරා 2/33.

CDB කණ්ඩායමට ලකුණු 105ක ජයක්


ජෝන් කීල්ස් A සහ හේලීස් A

  • කාසියේ වාසිය – හේලීස්
  • ක්‍රීඩාංගණය – දොඹගොඩ

ජෝන් කීල්ස් – 183/10 (44.3): අකිල දනංජය 50, කවීන් බණ්ඩාර 50, චතුරංග ද සිල්වා 3/40, ටී. එම්. සම්පත් 2/33, ප්‍රභාත් ජයසූරිය 2/47.

හේලීස් – 155/10 (39.2): රොන් චන්ද්‍රගුප්ත 48, විශාද් රන්දික 45, ලහිරු සමරකෝන් 38, අකිල දනංජය 4/39, සචිත ජයතිලක 3/07.

ජෝන් කීල්ස් කණ්ඩායමට ලකුණු 28ක ජයක්

තරගාවලියේ මූලික වටයේ තවත් තරග තුනක් මැයි 2 වැනිදා පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<