වරාය අධිකාරියෙන් සුපිරි දස්කම්

385
SLC Premier League 2016/17 Tier B 21st December roundup

අන්තර් සමාජ ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරඟ කිහිපයක්ම අද (21) ආරම්භ විය. එහිදී අද දිනයේදී කැපි පෙනෙන දස්කම් දැක්වීමට ලංකන් ක්‍රිකට් සමාජය හා ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රිකට් සමාජය සමත් විය.

පසුගිය ලිපි: මනෝජ් හා තරංග, ටැමිල් යූනියන් ගොඩගනියි

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය හා ලංකන් ක්‍රිකට් සමාජය අතර තරඟය

වෙළගෙදර ක්‍රීඩා පිටියේ දී කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කර නමුත් පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. දිනය අවසන් වන විට ලංකන් ක්‍රිකට් සමාජය තම පළමු ඉණිමට සියල්ලන්ම දැවී ලකුණු 422ක් ලබා ගන්නා ලදි.

එවන් විශිෂ්ට ලකුණකට යාමේදී ලක්ෂාන් රොද්‍රිගෝ දැකුම්කළු 4 පහර 14ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 91ක් ලබාගෙන සාර්ථක අඩිතාලම සකස් කල අතර, මැදපෙළ සවිමත් කිරීමට පිටියට පැමිණි චානක රුවන්සිරි පිටිය තමාගේ අණසකට යටත් කරගනිමින් දැවැන්ත 6 පහර 6ක් හා 4 පහර 7ක් සමඟින් ලකුණු 100ක් ලකුණු පුවරුවට එකතු කරන ලදි. ලාල් කුමාර හා චානක රුවන්සිරි 5වන කඩුල්ල සඳහා ලකුණු 176ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. ලාල් කුමාර 4 පහර 10ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 86ක් ලබාගන්නා ලදි.

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම  (පළමු දිනය අවසානයේ දී) – සියල්ලන්ම දැවී ලකුණු 422 (පන්දුවාර 89.2): චානක රුවන්සිරි 100, ලක්ෂාන් රොද්‍රිගෝ 91, ලාල් කුමාර 86, රජීව වීරසිංහ 51 , මිතුන් ජයවික්‍රම 3/103, චරිත් මාපටුන 2/50


පොලිස් ක්‍රීඩා සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරඟය

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව පොලිස් ක්‍රීඩා සමාජයට ලබාදෙන ලදි. තරගය පැවැත්වූයේ හම්බන්තොට සූරියවැව ක්‍රීඩා පිටියේදී.

දිනය අවසන් වන විට පොලිස් ක්‍රීඩා සමාජය තම පළමු ඉණිමට කඩුලු 9ක් දැවී ලකුණු 167ක් ලබා සිටියි. පොලිස් ක්‍රීඩා සමාජය පසුගිය තරඟ වල මෙන්ම මෙම තරගයේ ද තම පළමු ඉණිමට සාර්ථක පිතිකරණයක් දියත් කිරීමට අපොහොසත් වූ අතර, බුද්ධික සඳරුවන් පොලිස් ක්‍රීඩා සමාජය සැලකිය යුතු මට්ටමකට ඔසවා තැබීමට අධිෂ්ඨානශීලී පිතිකරණයක නිරත වෙමින් නොදැවී ලකුණු 43*ක් ලබාගෙන සිටියි.

සන්ධ්‍යා කාලයේදී ක්‍රිඩාංගනයට අයහපත් කාලගුණික තත්ත්වයෙන් බාධා එල්ල වූ අතර, තරඟය එම නිසා මිනිත්තු කිහිපයක්ම ප්‍රමාද විය. මංජුල ජයවර්ධන ගුවන් හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් කඩුලු 3ක් දවාගන්නා ලදි.

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 9ක් දැවී ලකුණු 167 (පන්දුවාර 76): බුද්ධික සඳරුවන් 43*, රොස්කො පහටිල් 38, මංජුල ජයවර්ධන 3/34


නාවික හමුදා ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර තරඟය

වැලිසර නාවික හමුදා පිටියේදී කාසියේ වාසිය ජයග්‍රහණය කල පානදුර ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. ශ්‍රී ලංකා නාවික හමුදා  ක්‍රීඩා සමාජය පළමු දිනය අවසානයේ දී තම පළමු ඉණිමට කඩුලු 5ක් දැවී ලකුණු 97ක් ලබාගෙන සිටියි.

ජාත්‍යන්තර අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන චාමර සිල්වා නායකත්වයේ ඉණිමක් දියත් කරවමින් 4 පහර 9ක් සමඟ විශිෂ්ට ලකුණු 72ක් රැස්කරන ලදී. එවන් ලකුණකට ගිය ඔහු සමඟින් එක්වූ මිශේන් සිල්වා තෙවන කඩුල්ල සඳහා ලකුණු 143ක දැවැන්ත සබඳතාවයක් ගොඩනංවමින් තම කණ්ඩායමේ ලකුණු පුවරුවේ බලය වැඩි කරවන ලදි. මිශේන් සිල්වා 4 පහර 7ක් හා 6 පහර 2ක් සමඟ ලකුණු 70ක් ලබාගන්නා ලදි. තවද ඔවුන් දෙදෙනා තම කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 176ක් ලෙස දැක්වෙද්දී දැවීයාම මෙහිදී සිදුවූ සුවිශේෂී සිදුවීමකි. අවසානයේ ඔවුන්ගේ ඉණිම ලකුණු 268කට සීමා වූ අතර, පන්දු යැවීමේදී නාවික හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඉශාන් අබේසේකර කඩුලු 4ක් දවාගන්නා ලදී.

අනතුරුව තම පිළිතුරු පළමු ඉණිම දියත් කල නාවික හමුදා කණ්ඩායම දිනය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 97ක් ලබාගෙන සිටියි. නාවික හමුදා ක්‍රීඩා සමාජයේ පළමු කඩුලු 3 ලකුණු නොලබාම දවාගන්නට ගයාන් සිරිසෝම ඇතුළු පානදුර ක්‍රීඩා සමාජයේ පන්දු යවන්නන් සමත් විය. ලකුණු 25කට කඩුලු 5ක් ලෙස තම ලකුණු පුවරුව දිස්වෙද්දී  පිටියේ ස්ථාවර වූ දිනුශ්ක මාලන් හා සමීර සඳමාල් ලකුණු 72*ක සබඳතාවයක් ගොඩනංවමින් ඉණිම යම්තාක් දුරට හෝ ගොඩනංවන ලදි. දිනුශ්ක මාලන් 4 පහර 6ක් සමඟ නොදැවී ලකුණු 42*ක්ද, සමීර සඳමාල් 4 පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 33*ක් ලබාගෙන කඩුල්ලේ රැදී සිටියි. ගයාන් සිරිසෝම පානදුර ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලකුණු 35කට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 268 (පන්දුවාර 54.2): චාමර සිල්වා 72, මිශේන් සිල්වා 70, රැවන් ප්‍රනාන්දු 29, ඉශාන් අබේසේකර 4/78, දිලංක ශ්‍රීමාල් 3/47

නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම  (පළමු දිනය අවසානයේ දී)- කඩුලු 5ක් දැවී ලකුණු 97 (පන්දුවාර 35): දිනුශ්ක මාලන් 42*, සමීර සඳමාල් 33*, ගයාන් සිරිසෝම 4/35


වරාය අධිකාරි ක්‍රීඩා සමාජය හා කළුතර භෞතික සංස්කෘතික ක්‍රිකට් සමාජය අතර තරඟය

මත්තේගොඩ යුධ හමුදා පිටියේදී කාසියේ වාසිය ජයග්‍රහණය කල වරාය අධිකාරි සමාජය පළමුව පන්දුවට පහරදීමට කළුතර භෞතික සංස්කෘතික සමාජයට ඇරයුම් කරන ලදි. ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම දිනය අවසන් වන විට තම පළමු ඉණිමට කඩුලු 3ක් දැවී ලකුණු 286ක් ලබාගෙන සිටියි.

කළුතර කණ්ඩායමේ පළමු ඉණිම ලකුණු 49කට සීමා කල, චානක කොමසාරු ලකුණු 17කට කඩුලු 5ක් දවාලමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය. ෆහාඩ් බාබර් එක් 4 පහරක් සමඟින් ලකුණු 14ක් ලබාගෙන කළුතර කණ්ඩායමට තරමක් හෝ සහය ලබාදෙන ලදි.

අනතුරුව තම පිළිතුර පළමු ඉණිම ඇරඹූ වරාය අධිකාරි කණ්ඩායම විශිෂ්ට තැනකට ගෙන ඒමට ඉශාන් රංගන සහ හශාන් ගුණතිලක යන පිතිකරුවන් සමත් විය. ඔවුන් පිළිවෙලින් ලකුණු 97*ක් හා ලකුණු 67ක් ලබාගත් අතර, ඉශාන් තම නොදැවුනු ඉණිමට 4 පහර 8ක් හා 6 පහර 2ක් ඇතුළත් කරන ලදි. දිනය අවසන් වන විට ඉශාන් රංගන සමඟින් නොදැවී කඩුල්ලේ රැදී සිටින ප්‍රශාන් වික්‍රමසිංහ 4 පහර 7ක් සමඟින් ලකුණු 51*ක් ලබාගෙන සිටියි.

කළුතර භෞතික සංස්කෘතික සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 49 (පන්දුවාර 22.2): ෆහාඩ් බාබර් 14, චානක කොමසාරු 5/17, චාමිකර එදිරිසිංහ 4/08

ශ්‍රී ලංකා වරාය අධිකාරි සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේදී) – කඩුලු 3ක් දැවී ලකුණු 286 (පන්දුවාර 62): ඉශාන් රංගන 97*, හශාන් ගුණතිලක 67, ප්‍රශාන් වික්‍රමසිංහ 51*

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට