ශෙනාල් සහ දනාල්ගේ දස්කම් සමඟ සාන්ත පීතර විද්‍යාලයත් අවසන් 4ට

19න් පහළ පළමු පෙළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලිය 2021/22

971
U19 Schools Cricket Tournament

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier B කොටසේ අවසන් අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට සාන්ත පීතර විද්‍යාලය අද (1) සමත් වුනා.

ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහිව පැවති මේ තරගය මරදාන සාන්ත ජෝසප් විදුහල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වුනා.

Tier B කොටසේ X කාණ්ඩය යටතේ අපරාජිතව පළමු ස්ථානය දිනා ගත් සාන්ත පීතර විද්‍යාලය සහ Tier B කොටසේම හොඳම තෙවැනි ස්ථානය සඳහා වුනු දෙවැනි ස්ථානය දිනාගෙන X කාණ්ඩයෙන්ම ක්‍රීඩා කළ මහින්ද විද්‍යාලය මේ අර්ධ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. එසේම පසුගිය වසරේ Tier B කොටසේ ශූරයින් බවට පත්වුණේ ද ගාල්ල මහින්ද විද්‍යාලයයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් මහින්ද විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 192ක් පමණයි.

දිනුර කළුපහන පන්දු 79ක දී 4 පහර 2ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් ලකුණු 45ක් ලබාගෙන මහින්ද විද්‍යාලයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වන විට, හිරුණ මන්දිල සහ ප්‍රමේෂ් මදුභාෂණ පිළිවෙළින් ලකුණු 37ක් සහ ලකුණු 32ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා 19න් පහළ නියෝජනය කළ වේගපන්දු යවන ක්‍රීඩක දනාල් හේමානන්ද කඩුලු 3ක් දවාගෙන දස්කම් දැක්වූවා.

සාන්ත පීතර විද්‍යාල පන්දුවාර 41කුත් පන්දු 5ක් අවසානයේ දී සිය නියමිත ජයග්‍රාහී ඉලක්කය පසු කළ අතර එහි දී ශෙනාල් බොතේජු අගනා ශතකයක් ලබාගෙන සුපිරි දස්කම් අතරට පැමිණියා.

අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි ශෙනාල් 4 පහර 10ක් එල්ල කරමින් පන්දු 124ක දී මේ ලකුණු 102*ක ලබා ගත්තා. ඊට අමතරව නායක වනුජ සහන් ලකුණු 30ක් ලබාගෙන දස්කම් දැක්වූයේ දවා ගත් කඩුලු 2කට අමතරවයි.

තරගයේ ලකුණු සාරාංශය

මහින්ද විද්‍යාලය – 192 (50): දිනුර කළුපහන 45, හිරුණ මන්දිල 37, ප්‍රමේෂ් මදුභාෂණ 32, දනාල් හේමානන්ද 3/22,

සාන්ත පීතර විද්‍යාලය – 193/5 (41.5): ශෙනාල් බොතේජු 102, වනුජ සහන් 30, රුසඳ ගමගේ 23, හිරුන මන්දිල 2/26.

සාන්ත පීතර විද්‍යාලයට කඩුලු 5ක ජයක්

මෙවර තරගාවලියේ Tier A සහ Tier B අර්ධ අවසන් පූර්ව තරග පවත්වා අවසන් වී තිබෙන නිසා පළමු පෙළ Tier A සහ Tier B කොටස්වල අවසන් පූර්ව තරග සියල්ලම මග්ගොන සරේ ගම්මාන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පහත පරිදි පැවැත්වීමට නියමිතයි.

Tier A

  • අප්‍රේල් 5 – පළමු අවසන් පූර්ව තරගය – මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ කඳාන ද මැසනොඩ් විද්‍යාලය
  • අප්‍රේල් 7 – දෙවැනි අවසන් පූර්ව තරගය – මහානාම විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලය
  • Tier B,
  • අප්‍රේල් 4 – පළමු අවසන් පූර්ව තරගය – ඉසිපතන විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය
  • අප්‍රේල් 6 – දෙවැනි අවසන් පූර්ව තරගය – තර්ස්ටන් විද්‍යාලය සහ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<