රාජකීය සහ සාන්ත ජෝසප් Tier A අවසන් සටනට

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2021

246

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ අවසන් මහා තරගයට අවතීර්ණ වීමට කොළඹ රාජකීය විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අද (28) දිනයේ දී සමත් වුනා. ඒ අවසන් පූර්ව තරගවලදී පිළිවෙළින් කොළඹ මහානාම විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජයට පත්කරමිනි. 

රාජකීය විද්‍යාලය සහ මහානාම විද්‍යාලය 

මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේ දී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනාගත් රාජකීය විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කළා. පිළිවෙළින් කොළඹ නාලන්දා විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කරමින් රාජකීය සහ මහානාම විද්‍යාල මෙම තරගය සඳහා සුදුසුකම් සපුරා ගත්තා. 

මහානාම විද්‍යාලයේ නායක පවන් රත්නායක හුදෙකලා පිතිකරණයක නිරත වෙමින් රැස්කර ගත් අගනා ශතකය හැරෙන්නට මහානාම විද්‍යාලයේ අනෙක් කිසිඳු පිතිකරුවෙකු හට වැඩි ලකුණු වාර්තා කරගනිමින් සාර්ථක වීමට අවස්ථාවක් ලැබුනේ නැහැ. පවන්ගේ මෙම ලකුණු 114 ඉනිම සඳහා හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් ඇතුළත් වුනු අතර ඒ සඳහා ඔහුට වැය වූයේ පන්දු 150ක් පමණයි.  

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:  

කෙසේ නමුත් සුපුරුදු පරිදි නායකයා හට සවියක් වුනු උප නායක විනුක රූබසිංහ, පන්දු 64ක් සඳහා මුහුණ දෙමින් ලකුණු 33ක් රැස්කර ගත්තේ ඔහුගේ අන්තය රැකගනිමින් වන අතර ඒ නිසාවෙන් පවන් රත්නායක හට යම් තරගකාරී ලකුණක් දක්වා මහානාම ඉනිම ඔසවා තැබීමට හැකියාව ලැබුනා. අවසානයේ දී මහානාම විද්‍යාලය සිය නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 209ක් රැස්කර ගත් අතර පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක සොනාල් අමරසේකර කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් අතරට පැමිණියා. 

ලකුණු 210ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි රාජකීය විද්‍යාලය, පන්දුවාර 47ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී සපුරා ගත්තා. එහිදී සදීෂ රාජපක්ෂ ලකුණු 85ක් වාර්තා කරගනිමින් ඉනිමේ නැංගුරම බවට පත්වෙද්දී, කඩුලු රකින පිතිකරු සෙහාන් හේරත් සහ නායක අහන් වික්‍රමසිංහ පිළිවෙළින් ලකුණු 62ක් සහ ලකුණු 27ක් රැස්කර ගනිමින් රාජකීය විද්‍යාලය අවසන් මහා තරගයට රැගෙන යාමේ අවසන් මෙහෙයුම සාර්ථක කරගැනීම වෙනුවෙන් පිත්තෙන් පිළිතුරු ලබා දුන්නා. පන්දු 129ක් පුරාවට විහිදුනු සදීෂගේ ඉනිම සඳහා හතරේ පහර 3ක් ඇතුළත් වුනු අතර සෙහාන් හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් එල්ල කරමින් එම ලකුණු 62 රැස්කර ගත්තා. පන්දු යැවීමේ දී නායක පවන් රත්නායක, සම්පත් නිස්සංක සහ සෙතුම් කෙනුල අතරේ එක් කඩුල්ල බැඟින් බෙදී ගියා. 

මහානාම විද්‍යාලය –  209/8 (50): පවන් රත්නායක 114, විනුක රූබසිංහ 33, සොනාල් අමරසේකර 3/29.  

රාජකීය විද්‍යාලය – 210/4 (47): සදීෂ රාජපක්ෂ 85, සෙහාන් හේරත් 62, අහන් වික්‍රමසිංහ 27, පවන් රත්නායක 1/23, සම්පත් නිස්සංක 1/34, සෙතුම් කෙනුල 1/43. 

රාජකීය විද්‍යාලයට කඩුලු 06ක ජයක්

ත්‍රිත්ව විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය 

අර්ධ අවසන් පූර්ව වටයේ දී පිළිවෙළින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය පරාජය කරමින් සාන්ත ජෝසප් විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය මග්ගොන සරේ පිටියේ දී පැවති මෙම අවසන් පූර්ව තරගය සඳහා සුදුසකම් ලබාගත්තා.  

කාසියේ වාසිය දිනාගත් ත්‍රිත්ව විද්‍යාල නායක අභිෂේක් ආන්නදකුමාර් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 අවසන් වීමට පෙර සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 160ක් පමණයි. එහිදී ඔවුන්ගේ පළමු කඩුලු හතර ලකුණු 21ක් වැනි ලකුණු ප්‍රමාණයක් තුළ දවා ගැනීමට වේගපන්දු යවන ක්‍රීඩක මිතිර තෙනුර සහ දේශාන් සෙනෙවිරත්න සමත් වුනා. අනතුරුව පස්වන කඩුල්ල සඳහා පිටියේ එක්වූ පවන් පතිරාජ සහ අක්රම් මුතාලිබ් අගනා ශතක සබඳතාවයක් ගොඩනංවමින් ත්‍රිත්ව ලකුණු සටහන යම් සටන්කාමී ලකුණු මට්ටමක් වෙත රැගෙන ගියා. හතරේ පහර 7ක් එල්ල කරමින් පන්දු 117ක දී ලකුණු 62ක් වාර්තා කරගැනීමට පවන් පතිරාජ  සමත් වුනා. ඊට අමතරව ඉනිමේ දෙවන වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 99ක දී ලකුණු 49ක් වාර්තා කරගත්  මුතාලිබ්ගේ ඉනිමට එක් 4 පහරක් සහ 6 පහරක් ඇතුළත් වුනා. කෙසේ නමුත් මුතාලිබ් හට අවාසනාවන්ත ලෙස සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගැනීමට අවස්ථාවක් ලැබුනේ නැහැ. 

පිළිතුරු ඉනිම දියත් කළ සාන්ත ජෝසප් ආරම්භක පිතිකරුවන් යුගලය වුනු ශෙරන් ෆොන්සේකා සහ සදීෂ් ජයවර්ධන ඉතාමත් දක්ෂ පිතිකරණයක නිරත වෙමින් කිසිඳු කඩුල්ලක් ලබානොදී සිය විද්‍යාලයේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් වුනා. එහිදී ශෙරන් පන්දු 116ක් සඳහා මුහුණ දෙමින් නොදැවී ලකුණු 93*ක් රැස්කර ගත් අතර ඔහුගේ එම අගනා ඉනිම සඳහා හතරේ පහර 10ක් ඇතුළත් වුනා. හතරේ පහර 5ක් සිය ඉනිම සඳහා ඇතුළත් කරගනිමින් පන්දු 98ක දී නොදැවී ලකුණු 62*ක් වාර්තා කරගත් සදීෂ් ජයවර්ධන, ශෙරන් සඳහා ඉතාමත් හොඳ සහයක් ලබා දෙමින් සිය අන්තය ආරක්ෂා කරගනිමින් පන්දුවට පහර දුන්නා.  

ත්‍රිත්ව විද්‍යාලය – 160/10 (49.4): පවන් පතිරාජ 61, අක්රම් මුතාලිබ් 49, මිතිර තෙනුර 3/26, දුනිත් වෙල්ලාලගේ 3/32.

සාන්ත ජෝසප් විද්‍යාලය – 161/0 (35.4): ශෙරන්  ෆොන්සේකා 93*, සදීෂ් ජයවර්ධන 62*. 

සාන්ත ජෝසප් විද්‍යාලයට කඩුලු 10ක ජයක් 

සාන්ත ජෝසප් විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය අතර පැවැත්වෙන Tier A කොටසේ තීරණාත්මක අවසන් මහා තරගය මැයි මස 01 වැනි සෙනසුරාදා කොළඹ NCC පිටියේ දී පැවැත්වෙනවා. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<