මිතුරා වෙනුවෙන් දින 7ක් තුළ මැරතන් 7ක් දිවූ එංගලන්ත රග්බි ක්‍රීඩකයා

169

Leeds Rhinos රග්බි කණ්ඩායමේ හිටපු නායකයෙකු වන Kevin Sinfield විසින් දින 7ක් තුළ මැරතන් ධාවන තරග 7ක් සම්පූර්ණ කිරීමේ අභියෝගය ඊයේ (08) දිනයේ දී සාර්ථකව අවසන් කරනු ලැබීය.   

මේ වන විට Leeds Rhinos කණ්ඩායමේ රග්බි ක්‍රීඩාව පිළිබඳ අධ්‍යක්‍ෂ ධූරය දරන Sinfield ඒ අනුව මේ හරහා එරට මෝටර් නියුරෝන රෝග සංගමය වෙත පවුම් මිලියනයකට අධික මුදලක් ආධාර ලෙස ඔසවා තබන්නට සමත් විය. 

Sinfield මෙම අභියෝගය බාරගෙන සම්පූර්ණ කිරීමට තීරණය කරනු ලැබුවේ ඔහු සමඟ එකට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකු මෙන්ම ඔහුගේ සමීප මිතුරෙකු ද වන Rob Burrow මීට මාස 12ක පමණ කාලයකට පෙර මෙම සුවකළ නොහැකි ස්නායු රෝග තත්වයෙන් පෙළෙන බව හඳුනා ගැනීමත් සමඟ යි. 

Rob දැරූ අංක 7 ජර්සි අංකය යොදාගනිමින් මෙහි දී Sinfield විසින් පවුම් 77,777ක මුදලක් ඔසවා තැබීම අරමුණු කරගෙන මෙම අඛණ්ඩව දින 7ක් තුළ මැරතන් තරග 7ක් සම්පූර්ණ කිරීමේ අභියෝගය ආරම්භ කරනු ලැබුවත්, පසුව ඒ සඳහා ලැබෙන්නට වූ විශාල ධන පරිත්‍යාග හේතුවෙන් ඔහුට එම ඉලක්කගත මුදල අභිබවමින් පවුම් මිලියනයකට අධික මුදලක් ඔසවා තබන්නට අවසානයේ දී හැකියාව ලැබුණි. 

තවත් කියවන්න;

ඒ අනුව ඔහු සිය අවසන් මැරතන් තරගය ඊයේ උදෑසන පැය 3 මිනිත්තු 41ක කාලයක් වැය කරමින් අවසන් කරනු ලැබීය. එහි දී BBC මාධ්‍ය ජාලය සමඟ මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ;

“මට නම් මේක හිතාගන්නවත් බැහැ. කොහොම වුනත් මට ගොඩක් සතුටුයි මේක සාර්ථකව අවසන් කරගන්න පුළුවන් වීම ගැන. 

පළවෙනි දවසෙන් පස්සේ අපි පොඩ්ඩක් මේක ගැන ටිකක් කනස්සල්ලෙන් හිටියේ අපිට අපේ ඉලක්කය සම්පූර්ණ කරගන්න බැරි වෙයි කියලා. ඒත් අන්තිම මැරතන් තරගයේ දී අපිට ගොඩක් ධන පරිත්‍යාග වගේම ලොකු සහයෝගයක් ලැබුණා. ඉතින් අපි මේ ඔසවලා තබපු විශාල මුදල තියා පවුම් 77,000ක් වත් සම්පූර්ණ කරගන්න බැරිවෙයි කියලා කනස්සල්ලෙන් ඉඳපු වෙලාවක හැමෝම අපිට දක්වපු සහයෝගය වෙනුවෙන් මම ඒ අයට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

මෝටර් නියුරෝන රෝග සංගමය ගොඩක් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා අපිට ඔවුන් වෙනුවෙන් නුදුරු අනාගතයේ දීම ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. ඒක හැමෝටම වැදගත් වේවි.”

https://www.sportbible.com/ වෙබ් අඩවියේ පළවූ ලිපියක පරිවර්තනයකි.  

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<