පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයින් තුනකට කොරෝනා

238

පාකිස්තානු කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයට පෙර එම සංචිතයේ සිටින පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයින් සියලුම දෙනා හට PCR පරීක්ෂණ සිදු කර තිබෙන අතර එහි දී හයිඩර් අලී, හැරිස් රෞෆ් සහ ශදාබ් ඛාන් යන ක්‍රීඩකයින් හට Covid-19 වයිරසය ආසාදනය වී තිබෙන බව පාකිස්තානු ක්‍රිකට් ආයතනය පවසා සිටියි.

Champions League ක්‍රිකට් තරගාවලිය නැවතත්? 

පාකිස්තානු ක්‍රිකට් ආයතනය විසින් පසුගිය සතියේ දී මෙම සංචිතයේ සිටින සියලුම ක්‍රීඩකයින් හට මෙම පරීක්ෂණය සිදු කර ඇත. එහි දී අනෙක් ක්‍රීඩකයින්ගේ PCR පරීක්ෂණවල ප්‍රතිඵල ද ලැබෙන තෙක් ඔවුන් ඉතාමත් විමසිල්ලෙන් සිටියි. ඒ අනුව පාකිස්තානු වෛද්‍ය කමිටුව වහාම ක්‍රියාත්මක වන පරිදි හයිඩර් අලී, හැරිස් රෞෆ් සහ ශදාබ් ඛාන් යන ක්‍රීඩකයින් තිදෙනාව නිරෝධානයට ලක් කර අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස දන්වා තිබේ.

මේ වසරේ ආරම්භයේ දී පැවැත්වුණු වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තානු කණ්ඩායම නියෝජනය කළ හයිඩර් එරට ජාතික සංචිතය සඳහා කැඳවීමක් ලද පළමු අවස්ථාව වූයේ, පසුගිය දා එංගලන්ත සංචාරයට යන පාකිස්තානු සංචිතය නම් කිරීමත් සමඟයි. ඔහු මේ වන විට පළමු පෙළ ක්‍රිකට් තරග 7ක් ක්‍රීඩා කරමින් ලකුණු 645ක් ලබාගෙන සිටින්නේ දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 50කට ආසන්න අගයක රඳවා ගනිමිනි.

බිග් බෑෂ් තරගාවලිය හරහා කැපී පෙනෙන දස්කම් දැක්වූ රෞෆ් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග දෙකක් ක්‍රීඩා කර ඇති අතර අත්දැකීම් බහුල වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වන ශදාබ් ඛාන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග 88ක් ක්‍රීඩා කර ඇත.

පාකිස්තානු කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය කොදෙව් එංගලන්ත ටෙස්ට් තරගාවලිය අවසන් වූ වහාම අගෝස්තු මාසයේ දී ආරම්භ වීමට දැනට කටයුතු සූදානම් කර තිබෙන අතර එම තරගාවලිය සඳහා ටෙස්ට් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත් වේ.

Video – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මහනුවරට

මීට අමතරව පාකිස්තානය තුල දී ශහීඩ් අෆ්රිඩි, තෞෆික් උමාර් සහ සෆාර් සෆ්රාස් යන ක්‍රීඩකයින් හට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇත. මේ ක්‍රීඩකයින් තිදෙනාට අමතරව ස්කොට්ලන්ත ක්‍රිකට් ක්‍රීඩක මජීඩ් හක් සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක සොලෝ නක්වෙනි යන ක්‍රිකට් ක්‍රීඩකයින් හට ද කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන අනෙක් රටවල්වල වෙසෙන ක්‍රීඩකයින් වේ.

පාකිස්තානයේ මේ වන විට Covid-19 ආසාදිත පුද්ගලයින් ගණන 181,000 ඉක්මවා තිබෙන අතර ඉන් සුවය ලබා තිබෙන පුද්ගලයින් ගණන 71,000 ඉක්මවා තිබේ. එසේම පාකිස්තානය තුල 3590කට අධික පුද්ගලයින් ප්‍රමාණයක් මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

Covid-19 වයිරසයට ගොදුරු වී සිටින සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර ඔබත් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් නිසි ලෙස පිළිපදිමින් ආරක්ෂිතව සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<