උෂාන්ගේ ප්‍රබලතම ප්‍රතිවාදියාට ඔලිම්පික් වරම්

184

Mister Jumper යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඇමරිකානු උස පැනීමේ ක්‍රීඩක JuVaughn Harrison පසුගිය දා පැවති NCAA Champion 2021 තරගාවලියේ උස පැනීම ඉසව්වේ දී ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා යමින් ඔලිම්පික් වරම් දිනා ගැනීමට සමත් වුනා.

Harrison එම තරගාවලියේ දී මීටර් 2.36ක දක්ෂතාවයක් දැක්වීමට ඔහු සමත් වූ අතර එම දස්කම මෙම වසර තුළ ක්‍රීඩකයෙකු වාර්තා කළ ලොව හොඳම දස්කම ලෙස ද සටහන්ව තිබුණා. උස පැනීම ඉසව්වේ ඔලිම්පික් පරිසාධන මට්ටම දැක්වුනේ මීටර් 2.33 ලෙසයි.

එමෙන්ම එම තරගාවලිය තුළ දී දුර පැනීම ඉසව්වේ මීටර් 8.44ක කැපී පෙනෙන දස්කමක් දක්වමින් එම ඉසව්වෙන් ද ඔලිම්පික් වරම් දිනා ගැනීමට Harrison සමත් වූ අතර එම දස්කම ද මෙම වසර තුළ දී ලොව වාර්තා වූ හොඳම දස්කම වුනා.

තවත් මලල ක්‍රීඩා පුවත් කියවන්න: 

එම දස්කම් සමඟින් උස පැනීම සහ දුර පැනීම යන ඉසව් ද්විත්වයම නියෝජනය කරමින් 2021 ටෝකියෝ ඔලිම්පික් වරම් දිනා ගැනීමට සමත් වූ එකම ක්‍රීඩකයා වීමට ද ඔහු සමත් වූ අතර ඔහුගේ දස්කම් සැලකූ විට එම ඉසව්වන්ගේ ඔලිම්පික් රන් පදක්කම් ඔහු විසින් දිනා ගැනීමට වැඩි අවස්ථාවක් ඇත.

එමෙන්ම ඇමරිකාවේ වාසය කරමින් මලල ක්‍රීඩාවෙහි නිරත වන ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩක උෂාන් තිවංකගේ ප්‍රබලතම ප්‍රතිවාදියා ලෙස ද JuVaughn Harrison හැඳින්විය හැක.

උෂාන් තිවංක තවමත් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වී නොමැති නමුත් ජූනි 29 වැනදාට පෙර ඔහුහට මීටර් 2.33ක ඔලිම්පික් පරිසාධන මට්ටම හෝ ඉහළ වර්ගීකරණයකින් යුත් ජාත්‍යන්තර තරගාවලියක ඉහළ ස්ථානයක් ලබා ගැනීමට හැකි වුවහොත් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට හැකි වේ.

උස පැනීම ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට ද හිමිකම් කියන උෂාන් පසුගිය දා පැවති තරගාවලියකදී මීටර් 2.30ක උසක් සාර්ථකව තරණය කිරීමට ද සමත් වුනා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<