යුපුන් අබේකෝන් ජාතික වාර්තා පොත් නැවත ලියවයි

784

ඉතාලියේ Savona හි පැවැත්වෙන International Città di Savona මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ මෙරට මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වේ තමන් සතු ජාතික වාර්තාව අලුත් කිරීමට සමත් වුනා. 

තරගාවලියේ මීටර් 100 අවසන් තරගය තත්පර 10.15කින් දෙවැන්නා ලෙස අවසන් කළ යුපුන්ගේ කාලය, ඔහු විසින් පසුගිය වසරේ දී මීටර් 100 ඉසව්ව තත්පර 10.16ක කාලයකින් අවසන් කරමින් පිහිටුවා තිබූ ජාතික වාර්තාවට වඩා තත්පර 0.01ක අඩු කාලයක් ලෙස සටහන්ව තිබුනා. 

එමෙන්ම මෙම දස්කම නිසාවෙන් ඔහු විසින් පසුගිය වසරේ දී පිහිට වූ මීටර් 100 දකුණු ආසියානු වාර්තාව ද (තත් 10.16) අලුත් කිරීමට යුපුන්ට හැකි වුනා. 

මෙම තරගයේ පළමු ස්ථානය තත්පර 10.13ක කාලයකින් තරගය අවසන් කළ ඉතාලි ක්‍රීඩක Lorenzo Patta හට හිමි වූ අතර තෙවන ස්ථානය තත්පර 10.25ක කාලයකින් අවසන් කළ Matteo Melluzzo හට හිමිවුනා. 

තවත් මලල ක්‍රීඩා පුවත් කියවන්න

මෙම තරගයේ මූලික වටයේ දී යුපුන් සිය ඉසව්ව තත්පර 10.13ක කාලයකින් අවසන් කිරීමට සමත් වුවත් එහිදී සුළගේ වේගය 2.2+ ලෙස සටහන්ව තිබූ නිසා එය වාර්තාවන් ගොන්නට ඇතුළත් වුනේ නැහැ. 

කෙටි දුර ධාවන පිටියෙහි පසුගිය කාලසීමාවේ දී ඉහළ දස්කම් අතර සිටින යුපුන් අබේකෝන් මෙම වසර ආරම්භ කළේ ජනවාරි මස පැවති ගෘහස්ත තරගාවලියක දී මීටර් 60 ශ්‍රී ලංකා ජාතික වාර්තාව (තත් 6.59) බිඳහෙලමින් වීම ද විශේෂත්වයක්. 

පන්නල ජාතික පාසලේ සහ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයෙහි ආදි ශිෂ්‍යයෙකු වන යුපුන් වර්තාමානයේ දී ඉතාලියේ වාසය කරමින් සිය පුහුණුවීම් කටයුතු සිදුකරයි. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<