ලුම්බිණි, ඇලෝසියස්, වලල සහ සෙබස්තියන් බාලිකාවෙන් නව වාර්තා

96

“89 වැනි Ritzbury ශ්‍රීමත් ජෝන් ටාබර්ට් ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව” අද (10) සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. පළමු දිනට තරගය නිමා වන විට නව තරග වාර්තා 4ක් බිහි වූ අතර ඒ අතරින් 3ක්ම සුදුසුකම් ලබා ගැනීමේ වටවල දී වාර්තා විය. 

ගතින් දුබල වුවත් මනසින් දුබල නැති විශිෂ්ටයින්ගේ ක්‍රීඩා උළෙල

2019 ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවය ඊයේ (05) සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ…

පළමු තරග වාර්තාව වයස අවුරුදු 18න් පහළ මීටර් 200 පිරිමි ඉසව්ව නියෝජනය කළ කොළඹ ලුම්බිණි විද්‍යාලයේ චලිත් පියුමාල් විසින් පිහිටු වනු ලැබුවේ තත්පර 21.88ක කාලයක් වාර්තා කරමින්. 

දෙවන වාර්තාව වයස අවුරුදු 16න් පහළ මීටර් 400 පිරිමි කඩුලු මතින් දිවීමේ ඉසව්ව නියෝජනය කළ රත්නපුර ඇලෝසියස් විද්‍යාලයීය ක්‍රීඩක උයිනොඩ් ආරියවංශ විසින් පිහිටු වන ලදි. ඔහු වාර්තා කළ කාලය තත්පර 55.32ක්. 

තෙවැනි තරග වාර්තාවට හිමිකම් කීමට 16න් පහළ මීටර් 400 කාන්තා කඩුලු මතින් දිවීම නියෝජනය කළ වලල ඒ. රත්නායක විද්‍යාලයේ එම්. එස්. කුමාරසිංහට හැකි විය. ඇය වාර්තා කළ කාලය මිනිත්තු 1:06.67ක්.

වයස අවුරුදු 18න් පහළ කාන්තා කවපෙත්ත විසිකිරීමේ ඉසව්ව නියෝජනය කළ කඳාන සාන්ත සෙබස්තියන් බාලිකා විද්‍යාලයේ හේෂානි මහේෂිකාට එම ඉසව්වේ නව තරග වාර්තාවක් පිහිටුවීමට හැකි විය. ඇය දැක්වූ දක්ෂතාවය මීටර් 36.16ක්.

දිනයේ බොහෝමයක් ඉසව්වන්හි සුදුසුකම් ලබා ගැනීමේ තරග වට පමණක් අද පැවති අතර ජාතික මට්ටමේ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද අද සුදුසුකම් ලබා ගැනීමේ හෙවත් තෝරා ගැනීමේ තරග වට සඳහා සහභාගී වී සිටියහ.

  • වයස අවුරුදු 20න් පහළ මීටර් 5000 පිරිමි ඉසව්ව මිනිත්තු 16:27.2න් අවසන් කළ මාකඳුර මධ්‍ය විද්‍යාලයේ එච්. එස්. සංකල්ප පළමු ස්ථානය දිනා ගැනීමට සමත් විය. 
  • වයස අවුරුදු 16න් පහළ දුර පැනීම පිරිමි ඉසව්ව නියෝජනය කළ වෑකඩ මහා විද්‍යාලයේ සී. හෙට්ටිආරච්චි විසින් ප්‍රථම ස්ථානය (මීටර් 6.42ක්) දිනා ගන්නා ලදි. 
  • වයස අවුරුදු 20න් පහළ තුන් පිම්ම කාන්තා ඉසව්ව නියෝජනය කළ රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලේ නෙත්මි මෙගවර්ණ විසින් පළමු ස්ථානය හිමිකර ගන්නා ලදි. ඇය වාර්තා කළ දුර ප්‍රමාණය වන්නේ මීටර් 11.98ක්. 

>> දිනයේ පැවති සියලු තරග ඉසව්වන් හි ජයග්‍රාහකයින්ගේ ලැයිස්තුව මෙතැනින් <<

තරගාවලියේ වඩාත් තරගකාරී සහ උද්වේගකරම අවසන් ඉසව් කිහිපයක් හෙට (11) පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු පුවත්, ඡායාරූප, වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<