BMS හා සේජිස් අවසන් සටනට

370

Redbull ආයතනය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “Redbull විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලියේ” අවසන් පූර්ව තරග අද (21) ක්‍රියාත්මක වූ අතර, එම තරග වලින් BMS කණ්ඩායම හා සේජිස් කැම්පස් කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

වර්ෂාව නිසා තරගය ජය පරාජයෙන් තොරයි

නැගෙනහිර පළාත හා ඌව පළාත අතර මාතර උයන්වත්ත ක්‍රීඩා පිටියේ දී ඊයේ (20) ආරම්භ වූ ක්‍රිකට් තරගය අද ..

BMS හා තර්ස්ටන් විදුහල

කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩා පිටියේ දී පැවැත්වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ තර්ස්ටන් කණ්ඩායම පළමුව ලකුණු රැස්කිරීමට තීරණය කරන ලදි.

තර්ස්ටන් පිතිකරුවන්ව තරගයේ මුල සිටම තම ග්‍රහණය යටතේ තබා ගැනීමට BMS කණ්ඩායම සමත් විය. තර්ස්ටන් විද්‍යාලයේ මුල් කඩුලු 6 ලකුණු 78ක් තුල දවා ගැනීමට අමිල අපෝන්සු හා ගෙශාන් විමලධර්ම ඇතුළු BMS ක්‍රීඩකයින් සමත් වූ අතර, තර්ස්ටන් මුල්පෙළ වෙනුවෙන් යොහාන් සචිත 4 පහර 2ක් සමඟින් ලකුණු 14ක් රැස්කර ගන්නා ලදි.

7 වන කඩුල්ල සඳහා පිටියේ එක්වූ නවෝද් සමරකෝන් හා සවන ප්‍රභාශ් ලකුණු 34ක සබඳතාවය ගොඩනංවන ලදි. එහි දී නවෝද් 4 පහර 2ක් සමඟින් ලකුණු 15ක් ලබාගෙන සිටිය දී දැවී ගිය අතර, සවන 4 පහර 2ක් හා 6 පහර 2ක් සමඟින් ලකුණු 31ක් ලබා ගන්නා ලදි.

BMS කණ්ඩායම වෙනුවෙන් අපෝන්සු හා ගෙශාන් කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි.

ලකුණු 122ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගියවර ශූරතාවය ජයග්‍රහණය කළ BMS කණ්ඩායම පන්දුවාර 15යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී නියමිත ඉලක්කය සපුරා ගත් අතර, එහි දී සධීර සමරවික්‍රම පන්දු 23ක දී 4 පහර 4ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 37ක් වාර්තා කිරීමට සමත් විය. ඔහු නවෝද්ගේ පන්දුවකට දැවී යන ලදි.  

සධීරට අනගි සහයක් දුන් හශාන් දුමිඳු ලකුණු 30කට දැවී ගියේය. අවසානයේ BMS කණ්ඩායම කඩුලු 6කින් තරගය ජයග්‍රහණය කළේය. පන්දු යැවීමේ දී තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් අයේෂ් හර්ෂන කඩුලු 2ක් දවා ගන්නා ලදි.

තර්ස්ටන් විදුහල – කඩුලු 9ක් දැවී 121 (පන්දුවාර 20): සවන ප්‍රභාශ් 31, නවෝද් සමරකෝන් 15, යොහාන් සචිත 14, ගෙශාන් විමලධර්ම 3/10, අමිල අපෝන්සු 3/17.

BMS – 126/4 (පන්දුවාර 15.1): සධීර සමරවික්‍රම 37, හශාන් දුමිඳු 30, ලහිරු මිලන්ත 15, අයේෂ් හර්ෂන 2/26

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හා සේජිස් විශ්ව විද්‍යාලය

සේජිස් විශ්ව විද්‍යාලයට ලකුණු 104ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි කර දුන් මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළේ සේජිස් කණ්ඩායමයි.

සරවනමුත්තු තණතීරුව මත පළමුව ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ සේජිස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 234ක් ලබාගත් අතර, එහි දී චලන ද සිල්වා පන්දු 27ක දී 4 පහර 3ක් හා 6 පහර 5ක් සමඟින් ප්‍රතිවාදීන්ට එදිරිව ප්‍රබල ප්‍රහාරයක් දියත් කිරීමට සමත් විය. ඔහුට සහය වූ චතුරංග කුමාර හා දමිත් ප්‍රියදර්ශන පිළිවෙළින් ලකුණු 41ක් හා ලකුණු 40ක් ලබා ගන්නා ලදි.

පන්දු යැවීමේ දී වරුණ දේශප්‍රිය ලකුණු 26ක් තුල කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 235ක දැවැන්ත ලකුණක් හඹා යාමට පිටියට පැමිණි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට තම ඉනිම අවසානයේ රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 130ක් පමණි. ඔවුන්ගේ අවසන් පිතිකරු යම් ආබාධයකට ලක්වීම නිසා පිතිකරණය සඳහා පිටියට පැමිණියේ නැත.

කොතලාවල විශ්ව විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පසුපෙළ පිතිකරු හර්ෂන විද්‍යාරත්න එක් 4 පහරක් හා 6 පහර 3ක් සමඟින් ලකුණු 27ක් රැස්කර ගත්තේය. ඔහුට අමතරව කවිඳු අශාන් හා වරුණ ලකුණු 22ක බැගින් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී මාලිංග ද සිල්වා ලකුණු 19ක් තුල කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූයේ සේජිස් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරමිනි.

සේජිස් විශ්ව විද්‍යාලය – 234/6 (පන්දුවාර 20): චලන ද සිල්වා 54, චතුරංග කුමාර 41, දමිත් ප්‍රියදර්ශන 40, වරුණ දේශප්‍රිය 3/26.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය – 130/9 (පන්දුවාර 16.2): හර්ෂන විද්‍යාරත්න 27, කවිඳු අශාන් 22, වරුණ දේශප්‍රිය 22, මාලිංග ද සිල්වා 3/19.

මෙම තරගාවලියේ අවසන් මහා තරගය හෙට (22) සවස 2.00ට මෙම ක්‍රීඩා පිටියේ දී ම පැවැත්වේ.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට