88 වැනි ‘සාන්තුවරුන්ගේ සටන’ කල් දමයි

253

මරදාන සාන්ත ජෝසප් විදුහල සහ බම්බලපිටිය සාන්ත පීතර විදුහල අතර පැවැත්වීමට සැලසුම් කර තිබූ 88 වැනි සාන්තුවරුන්ගේ මහා සටන, රටේ පවතින වත්මන් වාතාවරණය සැලකිල්ලට ගනිමින්, කල් දැමීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

මෙවර මහා සංග්‍රාමය පැවැත්වීමට නියමිතව තිබුණේ ජූලි 14 සහ 15 දිනවල පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දීයි.

තුන් ඉරියව් ක්‍රීඩක ශෙවෝන් ඩැනියල් විසින් සාන්ත ජෝසප් විද්‍යාලයට නායකත්වය ලබා දෙන විට, තුන් ඉරියව් ක්‍රීඩක වනුජ කුමාර සාන්ත පීතර කණ්ඩායමේ නායකයා ලෙස මෙවර සංග්‍රාමයේ දී කටයුතු කරන්නට නියමිතයි. ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකා 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් දෙදෙනෙකු වීම විශේෂත්වයක්.

කෙසේ නමුත්, 48 වැනි එක්දින සීමිත පන්දුවාර මහා තරගය ජූලි 15 වැනිදා පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර එම තරගය පීටර් ඒ. පිල්ලේ පියතුමන් අනුස්මරණය කිරීම වෙනුවෙන් පැවැත්වෙනවා. එම තරගය ThePapare.com, Dialog TV නාලිකා 140 සහ Dialog ViU හරහා සජීව ලෙස නැරඹීමට හැකි.

උද්වේගකාරී හා තරගකාරී මහා ක්‍රිකට් සංග්‍රාමයක් ලෙස ප්‍රචලිත ‘සාන්තුවරුන්ගේ සටන’, වැඩි ප්‍රේක්ෂක උනන්දුවක් ඇති කිරීමට හා ප්‍රතිඵලයක් සහිත අවසානයක් වෙනුවෙන් උපායමාර්ගිකව, පළමු ඉනිම පන්දුවාර 60කට සීමා කරන ලද එකම වාර්ෂික දෙදින ක්‍රිකට් තරගයයි. එය මෝරිස් ජේ. ලෙගෝ පියතුමන් අනුස්මරණය වෙනුවෙන් පැවැත්වෙනවා.

88 වැනි සාන්තුවරුන්ගේ මහා සටන නැවත පැවැත්වෙන දිනයක් පිළිබඳව සංවිධාකයකයින් ඉදිරියේ දී දැනුම් දීමට බලාපොරොත්තු වන අතර එහි නවතම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<