පළමු දිනය අවසානයේ සාන්ත සෙබස්තියානුවන් පෙරමුණේ

71 වැනි මොරටු මහා රන් සටන

530

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ වේල්ස් කුමර විද්‍යාලය අතර පැවැත්වෙන 71 වැනි මොරටු මහා රන් සටන අද (14) මොරටුව සොයිසා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා. 

තරගයේ කාසියේ වාසිය දිනාගත් වේල්ස් කුමර විද්‍යාලයීය කණ්ඩායමේ නායක දිනුර ප්‍රනාන්දු පළමුව පන්දුවට පහර දීම සඳහා ප්‍රතිවාදී සාන්ත සෙබස්තියානුවන්ට ආරාධනා කළා.

ඒ අනුව සාන්ත සෙබස්තියානු ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි සසිඳු ප්‍රාර්ථන සහ බිහඟ මෙන්ඩිස් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 43ක හොඳ සම්බන්ධතාවයක් එක් කරන්නට සමත් වුනා. කෙසේ නමුත් එහිදී අෂල පෙරේරාගේ පන්දුවක් හමුවේ බිහඟ ලකුණු 19ක් ලබා සිටිය දී දැවී ගිය අතර අනතුරුව සසිඳු ද ලකුණු 19ක් ලබා සිටිය දී පසිඳු පැතුම් යොමුකළ පන්දුවක් හමුවේ දැවී ගියේ සෙබස්තියානු ලකුණු පුවරුව ලකුණු 59ට කඩුලු 2ක් ලෙස සටහන් කරමින්.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:

අනතුරුව පිටියේ එක්වුනු සංදීෂ් ප්‍රනාන්දු සහ යෂාන් අවිශ්ක ඉතා දක්ෂ පිතිකරණයක නියැලෙමින් තෙවන කඩුල්ල සඳහා ලකුණු 62ක අගනා සබඳතාවයක් ගොඩනැඟුවේ සිය කණ්ඩායම ඉතා ස්ථාවර ස්ථානයක් කරා රැගෙන යමිනි. ඒ අනුව තෙවන කඩුල්ල ලෙස ලකුණු 30ක් රැස් කරගෙන සිටි යෂාන්ව අෂල විසින් දවා ගන්නා විට සාන්ත සෙබස්තියානු ලකුණු පුවරුව ලකුණු 121ක් ලෙස දැක්වුනා.

එහි දී ඉතා කැපී පෙනෙන පිතිහරඹයක නිරත වුනු සංදීෂ් ප්‍රතිවාදී වේල්ස් කුමර පන්දු යවන්නන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් ප්‍රවේගකාරී අර්ධ ශතකයක් වාර්තා කරගත්තේ සිය කණ්ඩායමට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යාමට අවශ්‍ය අඩිතාලම සකසා දෙමින්. කෙසේ නමුත් සාන්ත සෙබස්තියානු ලකුණු පුවරුව ලකුණු 159ක් ලෙස දැක්වෙන විට ප්‍රතිවාදී වේගපන්දු යවන ක්‍රීඩක චෙනුල ප්‍රනාන්දු විසින් ලකුණු 66ක් වාර්තා කරගෙන සිටි සංදීෂ්ව දවා ගන්නට සමත් වූයේ ඔහුගේ ඉනිම අවසන් කරමින්, වේල්ස් කුමරුවන්ව නැවතත් තරගයට අවතීර්ණ කරමිනි.

ඒ වන විට පිටියේ අනෙක් අන්තයේ සිටි නායක සුකිත ප්‍රසන්න සමඟ එක්වූ ශෙනිත් ප්‍රනාන්දු දක්‍ෂ පිතිහරඹයක නිරත වෙමින් පිළිවෙලින් ලකුණු 41ක් සහ 31ක් බැගින් වාර්තා කරමින් ඔවුන්ගේ ඉනිම ශක්තිමත් කරන්නට සමත් වුනත් ඉන් අනතුරුව පැමිණි අනෙක් කිසිඳු පිතිකරුවෙකු හට පිටියේ ස්ථාවර වන්නට වේල්ස් කුමර පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

ඒ අනුව සාන්ත සෙබස්තියානු ලකුණු පුවරුව ලකුණු 254ක් ලෙස දැක්වෙන විට ඔවුන්ගේ අවසන් කඩුල්ල බිඳ වැටුනේ ඔවුන්ගේ පළමු ඉනිමේ අවසානය සනිටුහන් කරමින්. එහි දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ පාදඟ පන්දු යවන ක්‍රීඩක සුමල්ක ප්‍රනාන්දු වේල්ස් කුමරුවන් වෙනුවෙන් ලකුණු 39කට කඩුලු 5ක් දවා ගන්නට සමත් වුනා.

අනතුරුව වේල්ස් කුමර පළමු ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසුනේ තරිඳු අමරසිංහ සමඟින් සුමල්ක ප්‍රනාන්දු. කෙසේ නමුත් ඔවුන් දෙදෙනාගේ ආරම්භක සබඳතාවය ලකුණු 21කට සීමා වුනේ වේගපන්දු යවන ක්‍රීඩක කුෂාන් හේරත් විසින් ලකුණු 16ක් රැස් කරගෙන සිටි තරිඳුගේ කඩුල්ල දවා ගැනීමත් සමඟයි.

පසුව සුමල්ක සමඟින් එක්වුනු ඔමේෂ් ප්‍රනාන්දු වේල්ස් කුමර ඉනිම ගොඩනඟන්නට උත්සාහ දැරුවත් ඔවුන්ගේ ලකුණු පුවරුව ලකුණු 51ක් ලෙස දැක්වෙන විට කලන සංදීප් විසින් ඒ වන විට ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් සිටි ඔමේෂ්ව ලකුණු 19කට දවා ගැනීමත් සමඟ එම සබඳතාවය අවසන් වුනා.

දිනය නිමාවන්නට පෙර සාන්ත සෙබස්තියානුවන් තවත් ප්‍රතිවාදී කඩුල්ලක් ඩැහැගන්නට සමත් වුනේ අෂාන් ප්‍රනාන්දු ලකුණු 2ක් පමණක් වාර්තා කරගෙන සිටිය දී ශෙනිත් විසින් ඔහුව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් නැවතත් ක්‍රීඩාගාරය බලා හරවා යැවීමත් සමඟයි. ඒ අනුව තරගයේ පළමු දිනය අවසන් වන විට වේල්ස් කුමරුවන් ලකුණු 53කට කඩුලු 3ක් දැවී තරමක් අසීරු තත්වයක පසුවනවා.

තරගයේ අවසන් දිනය හෙට යි.

ලකුණු සාරාංශය:

සාන්ත සෙබස්තියන් විද්‍යාලය: 254 (පන්දුවාර 68.5)සංදීෂ් ප්‍රනාන්දු 66, සුකිත ප්‍රසන්න 41, සෙනිත් ප්‍රනාන්දු 31, යෂාන් අවිශ්ක 30, සුමල්ක ප්‍රනාන්දු 5/39, අචල පෙරේරා 2/70.

වේල්ස් කුමර විද්‍යාලය: 53/3 (පන්දුවාර 15)


>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<